රැඩිකල් ප්‍රේමය – සිංහල සංගීතය වෙත රැඩිකල් ප්‍රවේශයක්

කසුන් කල්හාර ගේ රැඩිකල් ප්‍රේමය ගීත ඇල්බමය නිකුත් වී කාලයක් ගතවී ඇත. එසේ වී නමුත් අදාල ගීත ඇල්බමය පිලිබඳව මෙම සටහන තබන්නට අදහස් කලේ මෙම ගීත සමුච්චය සිංහල සංගීතය වෙත නැවුම් බලාපොරොත්තුවක් මෙන්ම රැඩිකල් ප්‍රවේශයක්ද දක්වා ඇති බැවිනි. ඔහුගේ ප්‍රවේශයේ ඇති රැඩිකල් බව නිසාමදෝ සුභාවිත ගීතයේ සම්ප්‍රදායික සීමාව තුල පෙලගැසී සිටි රසිකයා මෙම ගීතාවලිය දෙසට හෙලූයේ සංකා සහිත බැල්මකි. තවත් කොටසකින් දිස්වූයේ ප්‍රවේසම් සහගත ප්‍රතිචාරයකි. ඉතිරි කොටස මෙම ගීත ඇසීමේ අපහසුතාවයකින් පෙ‍ලෙනු ලැබිනි. ඔවුනට කසුන් කල්හාර තක්කඩි ගීත ඝෝශකයන්ගෙන් වෙන් කර හදුනාගැනීමේ අපහසුතාවයක් පැන නැගී තිබිනි. මේ අනුව මෙම ගීතාවලියෙන් ජනප්‍රියත්වයට පත්වී ඇත්තේ ගීත කිහිපයක් පමනි. තවත් කාරනයක් වන්නේ “නව පරපුර” යයි කියා ගන්නා ගීත ඝෝශකයන්ගේ රසිකයන් ලෙස පෙලගැසී සිටින තරුන පෙලද කසුන් කල්හාර වෙත යම් ආකර්ශනයක් දක්වන බවයි. කසුන්ගේ ගීත අතරින් ජනප්‍රියව ඇත්තේද ඉහත තරුන පරම්පරාව අතර ජනප්‍රිය වීම නිසා එෆ් ඵම් නාලිකාවලට ප්‍රචාරය නොකර සිටිය නොහැකිවූ ගීත බව පෙනේ.

කසුන්ගේ ගීත තුල සම්ප්‍රදායිකව සිංහල ගීත ගලාගිය රිද්මය බොහෝ කලකට පසු බිඳ තිබේ. එසේම පණ්ඩිත් අමරදේව, එච්.ආර් ජෝතිපාල, රූකාන්ත ගුනතිලක ගෙන් ඉක්බිතිව ගීතයේ සාහිත්‍යමය වින්දිතයන් වෙත කටහඩ තුලින් පන ලබාදීමට හැකි අයෙකු බිහිවී තිබීම ආශ්වාදජනකය.

ලාංකීය සංගීතය තුල විප්ලවීය ලෙස සැරිසැරුවේ ප්‍රේමසිරි කේමදාසය. අද ද ඔහු සංගීතය ගැන දරන මතය අතිශය තරුනය, රැඩිකල්ය. ඔහුද සිංහල සංගීතයේ සම්ප්‍රදායික රිද්මය වෙත අත තැබුවේය. කේමදාස ඒ සඳහා වැඩි බරක් තැබූයේ පෙරදිග සංගීතය වෙතය. කසුන් කල්හාර වැඩි බරක් තබා ඇත්තේ බටහිර සංගීතය වෙතය. කේමදාස ද බටහිර සංගීතය වෙත වැඩි බරක් තබමින් ද, තරුන පරපුර ඉලක්ක කොට ගනිමින්ද අනූව දශකයේ මුල “රජ වැඩ” නමින් ගීත එකතුවක් එලි දැක්වූ නමුත් මෙම ගීත ජනප්‍රියත්වයට පත්වූයේ නැත. මෙම ගීතාවලිය තුල ප්‍රේමයේ සිට පරිසර විනාශය දක්වා පෙදෙසක් මාතෘකා ගතව තිබිනි. ගීතය යනු ප්‍රේමය පිලිබඳ එකකැයි සමාජීය මතයක් තිබෙන බව පෙනෙන නිසා “ප්‍රේමය අඩු” ගීතාවලියක් ප්‍රතික්ශේප වූවාද වන්නට ඇත. කසුන්ගේ ප්‍රවේශය තුල ප්‍රේම ගීත සඳහා වැඩි බරක් තබා ඇත. ප්‍රේමය පිලිබඳ වැඩි බරක් තැබීම හා බටහිර සංගීතයට වඩා ආසක්තවීම තරුන පරපුර අතර කසුන්ගේ සාපේක්ශ ජනප්‍රියත්වයට ප්‍රමුඛ හේතු බව පෙනේ. මා මෙහිදී සාපේක්ශ යන වචනය භාවිතා කලේ නූතන තරුන පරපුර අතර අතිශය ජනප්‍රිය වන්නේ ගීත ඝෝශකයන් වන බැවිනි. කසුන් ඇතුලු සංවේදී තරුන පරපුරේ අභියෝගය වනු ඇත්තේද සුභාවිත සංගීතය ජනප්‍රිය සංගීතය බවට පත්කිරීම හරහා මෙම ඝෝශකයන්ට තමන්ට සුදුසු වෘත්තීන් සොයා ගැනීමට සහය දීමය.

කසුන් වෙනුවෙන් ගීත රචනා කල රචකයන් ද යම් වෙනසකට තැත්කල සේයා දක්නට ලැබේ. උදාහරන ලෙස චරිත් විදර්ශන සේනාධීර රචනාකල නදීක ජයවර්ධන සංගීතවත් කල “ක්ශිතිජ රේඛා . . .” ගීතය සඵල වූ ප්‍රේමයක ප්‍රහර්ශය අපූර්වත්වයකින් යුතුව ඉදිරිපත් කරයි. නමුත් සමහර රචනාවන් තුලින් භාශාව හා සාහිත්‍ය පිලිබඳ ඌන හැදෑරීමක් දිස්වේ. මෙයින් අදහස් කරන්නේ චිරන්තන සාහිත්‍යයේ යෙදුම් කවලම්කර ගීත නිමවිය යුතු බව නොවේ. අපගේ අඩිතාලම විය යුත්තේ පූර්වජයන් බවය. වර්ධනය කල යුතු, අතික්‍රමනය කලයුතු ඉසව් හමුවනු ඇත්තේ එතැනදීය. එහෙත් අපූර්වත්වය වන්නේ රචනාවන්ගේ එකී සාහිත්‍යමය ඌනතාද ගායනය සහ සංගීතය විසින් සගවා ගනු අපට අත්විදිය හැකි වීමයි.

කෙසේ නමුත් කසුන් කල්හාර සිංහල සංගීතය වෙත ආශ්වාදජනක ප්‍රවේශයක් තබා ඇති බව පැහැදිලිය. කසුන් තම ආරම්භයේ තැබූ මෙම සක්‍යතාවයන් තිරසාර වීමට නම් හුදු සංගීතය පමනක් නොව චිරන්තන හා නූතන සාහිත්‍යාංගයන් හා කලාවන් පිලිබඳ ගැඹුරු අධ්‍යනයක් හා පරිශීලනයක් ඔහු වෙතින් ඉල්ලුම් කෙරෙනු ඇත. ( කේමදාස හා අමරදේව මෙවැනි නිරන්තර අධ්‍යනයන් හා අභ්‍යාසයන් පිලිබඳ ජීවමාන උදාහරනයෝය ) එසේ නොමැති වුවහොත් කසුන් ද රූකාන්ත ගුනතිලක මෙන් විභවයක් පෙන්නුම් කරමින් සංගීතය වෙත පය තබා වර්ධනයක් අත්පත් කර නොගෙන පවතින්නෙකුගේ තත්වයට පත්වීමේ අනතුර ඇත.

පලමු වරට ප්‍රකාශයට පත්වූයේ : ප්‍රභාත් ගලගමගේ – 2008 ජනවාරි

උත්පලවන්නා – ආගමික දෘශ්ටීන් උත්කර්ශයට නැංවීමක්

සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්‍ශනය කල මේ දිනවල තිරගතවන උත්පලවන්නා සිනමාකෘතිය පිලිබඳව කතා කරන බොහෝ විචාරකයන් /විචාරිකාවන් සිය විචාරයන් තුලදී අත නොතැබූ ප්‍රධන කාරනයක් දැකගත හැක. එනම් කෘතිය තුල, ආගමික දෘශ්ඨිවාදයන් සුජාතකරනයට ගෙන ඇති උත්සාහයයි. තමන් දිවි හිමියෙන් සුරකින ආගමික දෘශ්ඨිවාදයන්‍ වෙතින්ම සීමාකිරීම විසින් බොහෝ විචාරකයන් /විචාරිකාවන් අතින් මෙම කාරණය ගිලිහීයාම/අතහැරීම අහම්භයක් නොවේ. එය, එම සුජාතකරන ක්‍රියාවලිය ආරක්‍ශා කිරීමේ එක් විධික්‍රමයකි.

සිංහල සිනමාව තුල අඩු වශයෙන් කතා කර ඇති ප්‍රදේශයක් තුලට ඇතුලු වී ඇති නමුත්, ඉතා සංවේදීව හා ගැඹුරුතරව විග්‍රහ කලයුතු එම වපසරිය අනුභූතිකව ග්‍රහනය කර ගැනීමත්, කෘතියට අවංකවීමට වඩා තම පුද්ගලික දෘශ්ඨිවාදයන්ට ආසක්ත වීමත් යන දැවැන්ත ඌනතා තුල මෙම නවමු පෙදෙසකට ප්‍රවේශවීමේ නිර්මානාත්මක ආකර්ශනීයත්වය දියව යනු අපට අත්විදිය හැක.

තරුණියක හා තරුණයෙකු කුලමය සබඳතා වලට ඉහලින් තම ප්‍රේමය ඔසවා තැබීම එතරම් දුලභ සංසිද්ධියක් නොවේ. ධනවාදී සමාජය ලංකාව තුලට “පතිතවී” සමාජ සංචලතාවයක් ඇරඹීමට පෙර යුගයන් තුල, බොහෝවිට දන්ඩනය මරණය ලෙස පැවති යුගවල පවා මෙවැනි සබඳතා පැවතී ඇත.එය කුලවාදය, ජාතිවාදය හෝ වෙනත් මොනයම් සමාජ අසමානතාවය රැගත් සංස්කෘතිකමය කාරනයකට වඩා මිනිස් සබඳතා එම සීමාවන් අතික්‍රමණය කල යුතුයයි හඩනගන වඩා සංස්කෘතිකමය ඉල්ලීමක් නොවේද? උත්පලවන්නා පොර බැදුවේද මෙම සංස්කෘතික බැරියරයට එරෙහිවයි. ඇය තම මව්පියන්ට ආදරය නොකල ආත්මාර්ථකාමී ලදක් වූ බව නොපෙනෙන්නේ ඇය සිය සැමියා මැරූ සිය පියා හමුවීමට බන්ධනාගාරයට යන ගමනෙනි.නමුත් දෙමාපියන්ට ඇති ආදරය හා ඇයගේ තාරුන්‍යයේ ආදරය එක්කල නොහැකි වූයේ ලංකාව තුල ස්ථාපිත වූ ධනවාදී ව්‍යුහයට, කුලවාදී ව්‍යුහය අතික්‍රමනය කිරීමට නොහැකි වූ බැවිනි. විශේශයෙන්ම කුලවාදයේ අධ්‍යාත්මික බැමි වලට අත තැබීමට එයට නොහැකි විය. කුලයේ අධ්‍යාත්මික බැමි යම්තමින් හෝ සෙලවූයේ මුල් කාලීනව ලංකා සමසමාජ පක්‍ශය සිදුකල කාර්යයන් තුල පමණි. නමුත් මෙම ගැටලුවේදී වාමාංශය පවා යම් නිහඩ හා නොගැඹුරු පිලිවෙතක් අනුගමනය කිරීම බොහෝ විට දැකගතහැකි විය.

කුල සබඳතා තුලදී මනුශ්‍ය හැසිරීම සංකීර්න වේ. මිතුරන් ලෙස ඇසුරු කරන විට බොහෝ විට ඔවුනවුන් තම තමන්ගේ කුල සබඳතාවය සොයා යන්නේ නැත. නමුත් විවාහය යන දිවියේ ප්‍රධාන සංදිස්ථානයේදී කුල සාධකය අලු ගසා නැගී සිටී. නර්තනය මධ්‍යම පාංතික විලාසිතාවක් වන විට උත්පලවන්නා එයට ආකර්ශණය වන අතර, ඒ තුල ගුරුවරයාගේ කුලය සලකා බැලෙන්නේ නැත. ගුරුවරයාගේ කුලයේ වෘත්තිය නර්තනයයි. චිරන්තනයේදී ද නර්තනය හා වාදනය පහල කුලවල වෘත්තිය වන විට ප්‍රභූන් විනෝදාස්වාදය පිනිස නර්තනය හා වාදනය සිදුකල බව ‍දැක්වේ. උත්පලවන්නා නර්තනයට ආකර්ශනය වීම ගුරුවරයාට ආකර්ශනය වීම දක්වා දුර යන විට කුලමය බාධකය නැගී සිටී. කුලමය බාධකය පිලිබඳ හොදින් දැනුවත් ගුරුවරයාගේ පියා ඇයට කල් ඇතිව අවවාද කරන්නේ එහෙයිනි.

රාජ්‍ය සමග පවතින තරුන තරුනියන්ගේ වෛරය පැසිස්ට්මය ආකෘකියක් දක්වා වර්ධනය විම කේන්ද්‍රිතව ගොඩනැගුනු 88/89 භීශන සමය ද සිනමාකෘතිය සමග ඈදමින් තුවාල ලබන කැරලිකරුවාට උත්පලවන්නා උවැටන් කිරීම ඇගේ බෞද්ධ හික්මීමේ ප්‍රතිඵලයක් ලෙස චිත්‍රනයට කෘතිය තුල දැඩි උත්සහයක් ගෙන ඇත. නමුත් ඇයට තම තරුන දිවිය හැරදා පැවිදි බවට පත්වීමට සිදුවූයේද බෞද්ධ ශික්ශනයක් ඇති සමාජීය කාරනයක් වන කුලය නිසාය යන්න අමතක කල හැකිද? බෞද්ධ ආගමික සංස්ථාවන්ගේ මූලයන් කුල සංස්ථාවන් සමඟ වෙන්නොකල හැකිපරිදි ගැටගැසී නොපවතීද? කුල ක්‍රමයේ ප්‍රධාන ආරක්ශක සංස්ථාව භික්ශු සමාජයයි. කුල ක්‍රමයෙන් බැට කෑ උත්පලවන්නාට තම මානසික කම්පිත බව සඳහා විසදුම් සොයා ඇතුල් වන්නට ඇත්තේද එයටම වීම අප සමාජීය ව්‍යුහය පිලිබඳ දෘඩතර ප්‍රශ්න කිරීමකට අපව රැගෙන යන්නේ නැත්ද? සිනමා කෘතිය තවත් අන්දමකට අපට පැහැදිලි කිරීමට උත්සාහ දරන්නේ “බුද්ධාගම කියන්නේ දැන් තියෙන එක නොවේ” ගෞතම බුදුන් දේශනා කල “ඔරිජිනල් එක” කියන ජනප්‍රිය වංචනික ප්‍රකාශයයි.දාර්ශනික ප්‍රවනතාවක් හෝ ආගමක් සමාජ පසුතලයෙන් පිටත තබා විග්‍රහ කල නොහැක.ඒවා නිර්මානය වීම හා “ජීවත්වීම” සමාජ පසුතලයන් ගෙන් බැහැරව සිදුනොවේ. එසේ නම් ලෝකයේ ජනිත වී ඇති බොහෝ සංකල්ප, සංකල්පීය වශයෙන් මානුශික වේ. ඒවා බොහොමයක් අමානුශික වන්නේ ඒවා සමාජය සමග ගනුදෙනු කිරීමේදීය. බුද්ධාගම හෝ වෙනත් ඕනෑම ආගමක් සම්බන්ධයෙන්ද සත්‍යය මෙයයි.

නිර්මාපකයන් කෙතෙක් උත්සාහ දැරුවද ආගමික සංස්ථාවන්ගේ යථාව වසන්කල නොහැකිවන්නේ ප්‍රධාන මෙහෙනිය උත්පලවන්නා නිවරදි බව පවසන නමුත් ඇයව ආරක්ශා කිරීමට ඉදිරිපත් නොවීම තුලිනි. ඇයට ආරාමය හැර යාමට සිදුවන්නේ ඒ හරහාය. ඇයව ආරක්‍ශා කිරීම යනු ආගමික සංස්ථාව ගැටලු වලට මැදි කිරීමකි. ප්‍රධාන මෙහෙනිය තුලින් දිස්වන්නේ තම දාන වේල ආරක්ශාකර ගැනීමේ අවශ්‍යතාව පමනි. ආගම පවතින සමාජය සමඟ පවත්වන අවස්ථාවාදී අනයෝන්‍ය සබඳතාව මෙතනදී පැහැදිලි වෙයි.

මේ සියඵ කාරනා හරහා කෘතිය අපව කම්පනයට පත්නොකරන අතර කෘතියේ නිර්මාපකයන් උත්පලවන්නා තව තවත් අතරමං කරලීම පිලිබඳව පමනක් අපව කම්පනයට පත්කරනු ඇත.

ප්‍රභාත් ගලගමගේ – 2007 දෙසැම්බර්

Newer entries »