“පියසීලී විජේගුනසිංහ සමාචාර” කෘතිය දොරට වැඩුම සැප්තැම්බර් 14 මහවැලි කේන්ද්‍රයේදී

මහාචාර්ය පියසීලී විජේගුණසිංහ උපහාර ග්‍රන්ථයක් පියසීලී විජේගුනසිංහ – සමාචාරනමින් 2011 සැප්තැම්බර් 14 සවස 330ට මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවනාගාරයේදී එලි දැක්වේ. මෙම අවස්ථාවට ඩේවිඩ් වෝල්ශ් ගේ හා දර්ශන මේදිස් ගේ දේශන ද්විත්වයක් ඇතුලත්වේ.

Advertisements

මරන්දන්ගේ පුරාජේරුව” 18 දා එලි දැක්වේ

“මරන්දන්ගේ පුරාජේරුව” මනෝ ප්‍රනාන්දුගේ නවතම පරිවර්තනයයි. මෙය විලියම් නයිටෝල් 1854 දී රචිත “ලක්දිව වන සැරිය” කෘතියේ දෙවන වෙළුමයි. 2011 මැයි මස 18 දින පෙ.ව 9‍.30 ට ජාඇල ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයේ ශ්‍රවනාගාරයේදී මෙම කෘතිය එලි දැක්වේ. මෙහිදී දේශකයන් වශයෙන් මහාචාර්ය සුසන්ත මහඋල්පත, විශේෂඥ වෛද්‍ය ආතර් යූ. ගමගේ හා ජස්ටින් පියසේන සහභාගි වෙති. “මරන්දන්ගේ පුරාජේරුව සූරිය ප්‍රකාශනයකි.

මහාචාර්ය පියසීලී විජේගුණසිංහ අපෙන් සමුගනී

වසර 40 කටත් අධික කාලයක් කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මානව මානවිකාවන්ට මහත් කැපවීමෙන් ඥාණ ප්‍රතිපාදනය කල, ග්‍රී ලංකා මාක්ස්වාදී සාහිත්‍ය විචාරය අරභයා පුරෝගාමී මෙහෙවරක් කල, වීර කාලීන ට්‍රොට්ස්කි වාදිනියක වූ, සමාජවාදී සමානතා පක්ෂයේ ලේකම් විජේ ඩයස් සහෝදරයාගේ භාර්යාව වූ මහාචාර්ය පියසීලී විජේගුණසිංහ අපෙන් සමුගත්තාය. දැනට දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර භූමදානය සැප්තැම්බර් 06 වන සදුදා සවස 3.00 ට බොරැල්ල කනත්තේදී සිදුකෙරේ.

මනෝ ප්‍රනාන්දු

1956 : බමුණු කුලය බිඳ වැටුණා ද?

‘බමුණු කුලය’ වශයෙන් වික‍්‍රමසිංහ හැඳින්වූයේ 1956 වන තෙක් අප පාලනය කළ ‘සුදු මිනිසුන් හා ඔවුන්ගේ ශ‍්‍රාවකයෝ ලෙස උගැන්ම ලැබූ සිංහලයන් අත ලොස්සක්’ බව ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සිංහල සිරිත පහත් කොට සලකන සිංහල නොදත්තෝ ය. බමුණු කුලය වැටීම පිළිබඳව හේතු සෙවීමට මහ ගත්කරු පෙළඹුණේ 1956 එක්සත් ජාතික පක්‍ෂය ලත් මැතිවරණ පරාජය නිසා ය. ආසන හැට පහක් දිනා ගන්නා අදහසින් තරඟ බිමට බට එක්සත් ජාතික පක්‍ෂය සුන්බුන්ව විසිරෙන තරමේ පරාජයන් ලැබුවේ කුමන කරුණු නිසා ද? හර්තාලයකට හේතුවන සේ හාල් මිළ වැඩිකර පාසැල් සිසුන්ට බනිස් ගෙඩිය නොදීම එම පරාජයට හේතු වශයෙන් ඇතැම් සමාජවාදීහු තර්ක කරන බව වික‍්‍රමසිංහ සඳහන් කරයි. මෙයට වෙනස්ව එම පරාජයට හේතුව සංස්කෘතික ප‍්‍රශ්නයක් ලෙස වික‍්‍රමසිංහ දකී. කවර ජනතාවගේ වුව ද සංස්කෘතිය ඔවුන්ගේ සිතුම් පැතුම් නොව කායික ගති පවා පාලනය කරන බව හේ කියා සිටී.

ජනතාවගේ සංස්කෘතිය නම් කුමක් ද?

පොදු ජන වැටහීම අනුව අපේ සංස්කෘතිය නම් අපට ආවේනික වූ කලා ශිල්ප බව ය. නමුත් ඉතිහාසය පිළිබඳව භෞතිකවාදී නිගමනයන්ට අනුව සංස්කෘතිය යන්නට වෙනත් විවරණ සැපයී ඇත.

සංස්කෘතිය

‘සංස්කෘතිය’ යනුවෙන් එක් කළෙක හැඳින්වූයේ නගුලෙන් පස් පෙරලා වගා කරන ලද භූමියකට ය. ස්වභාව ධර්මයාගේ වරප‍්‍රසාද මානුෂික ක‍්‍රියාවලියෙන් වෙනස් කිරීම ‘සංස්කෘතික’ කටයුත්තකි. මිනිසා තමාට සංස්කෘතිකයක් ගොඩනගා ගන්නේ එනම් සත්ව ලෝකයෙන් වෙන්වූයේ – ඔහු අත්වලට ගල්, පොළු වැනි උපකරණ ගත් විට ය. එය භෞතික කාර්ය්‍යයකි. එම හැකියාවන් මිනිසාගේ විඥනය බවට පත්ව අපේ උපකරණ චාරිත‍්‍ර නිපුනතා යන්න ගොඩනැගුනේ ය. නූතන සිංහලයා පරිහරණය කරන යාන වාහන, පාරවල්, දුම්රිය මාර්ග, පාසැල්, ආරෝග්‍ය ශාලා යන මේ සියළු සංස්කෘතික අංග ගෙනාවේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ය. එම මැදිහත්වීම නොමැතිව සිංහලයා ආසියාතික වැඩවසම්වාදයේ සිරකරුවෙකුව මිනිස් මනස මිත්‍යා විශ්වාසවල හා ඇඳහිලිවල හා චිරාගත නීති රීති යටතේ දාස භාවයට පත්ව මේ වනවිටත් සිටිනවා නිසැක ය.

වික‍්‍රමසිංහට දේශපාලන දැනුමක් නොවූ බව ඔහුගේ ‘බුදු සමය හා සමාජ දර්ශනය’ කෘතියේ පිටු පෙරලීමෙන් වටහා ගත හැකි ය. මේ කරුණ නිසා 1956 පෙරළියකට හේතු වූ දේශපාලන හා ආර්ථික කරුණු ඔහු දැක නැත. ආර්ථික කරුණු අනුව ලෝක බැංකුවේ නියමයන් අනුව බඩු මිළ ඉහළ දැමීමට එවකට සිටි යූ. ඇන්. පී ආණ්ඩුව මෙහෙය වීය. මෙයට විරුද්ධව 1953 හර්තාලය සිදු විය. බණ්ඩාරනායක බලයට පැමිණීමට උද්ගතවූ මූලික කරුණු වූයේ එම හර්තාලය නියමයන්ට දේශපාලන නායකත්වයක් නොමැති ව අඩාල වීමයි. හර්තාලය කොතරම් උද්වේගකාරී ජන නැගිටීමක් වූයේ ද යත් යු. ඇන්. පී. ආණ්ඩුව වරායේ නවතා තිබූ එස් එස් නිව්ෆවුන්ලන්ඞ් නැවට සීමා කිරීමට ජනතාව සමත් විය. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යන සියළු ජන කොට්ඨාශයන්ගෙන් සමන්විත වූ එය පීඩිත පංති නැගිටීමක ප‍්‍රකාශනයක් ය. ස්ටැලින්වාදින් විසින් පතුරුවා තිබූ අවධි දෙකේ විප්ලව න්‍යාය අනුව ජාතික ධනපති පංතිය ප‍්‍රගතිශීලී භූමිකාවක් ඉතිහාසයේ රඟපානු ඇතැයි යන ප‍්‍රතිවිප්ලවවාදි අදහස්වලට ලංකා සමසමාජ පක්‍ෂය යට වී තිබුණේ ය. එම නිසා ඔවුන් සැඟවී සිටි යූ. ඇන්. පී ආණ්ඩුව නැවෙන් එළියට ගෙන ඔවුන්ට බලය පැවරීය. දේශපාලන පාවාදීමකට ලක් වූ පීඩිත පංතිය බණ්ඩාරනායක බලයට ගෙන ආවේ ය. 1956 දේශපාලන පෙරලියට හේතු වූ මූලික කරුණු එ්වා ය. සංස්කෘතික කරුණු නොවේ.

කම්කරු පංතිය

1956 බලයට පැමිණි සඟ ගුරු වෙද ගොවි කම්කරු යන බලවේග ප‍්‍රගතශීලී බලවේග ලෙස සිංහල ධනපති පංතියට අටුවා ලිවූ වික‍්‍රමසිංහ ඇතුළු පත්තර කාරයෝ හඳුන්වා දුන්හ. කම්කරු පංතිය බණ්ඩාරනායක බලයට ගෙන එ්මට උදව් දුන්නේ නැත. 1958 ලංකාවේ වාර්තාගත ස්ට‍්‍රයික් ප‍්‍රමාණයක් ඇති වීමෙන් එය පැහැදිලි විය යුතු ය. ඞී. බී. ධනපාල වැනි කම්කරු විරෝධී පුවත් පත් කලාවේදීන් මෙම කරුණ වසන් කළේ ප‍්‍රථම ජනතාවාදී අගමැති සෑම පංතියකම නියෝජිතයා වශයෙන් පෙන්වීමට ය. නියම වශයෙන්ම බමුණු කුලය වූයේ ඉංග‍්‍රීසි උගත් පංතිය නොව සිංහල සඟ ගුරු වෙද පංතිය යි.

‘බමුණු කුලය බිඳවැටීම’ රසවාහිණියේ පළවී වැඩිකලක් ගතවීමට පෙර මාර්ටින් වික‍්‍රමසිංහ හා අනිකුත් ලේඛකයින් විසින් ප‍්‍රගතිශීලින් ලෙස හඳුන්වා දෙනු ලැබූ නව පංතියේ නග්න ප‍්‍රතිගාමිත්වය ජනතාවට දක්නට ලැබුණේ ය. මහා සංඝයා විසින් අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායකට වෙඩිතබා මහදවාලේම මරා දැමීම එම ප‍්‍රතිගාමිත්වයේ සංකේතයක් විය. එහි පිටුපස වූයේ කැළණියේ බුද්ධරක්ඛිත හිමි නමට නැව් ඉන්ෂුවරන්ස් සමාගමක් පටන් ගැනීමට තිබූ උවමනාව ය. බණ්ඩාරනායක එයට විරුද්ධ වූයේ එම සමාගමට වත්කම් පෙන්වීමට අපහසු වූ නිසා ය. එය හෙළිදරව්වූයේ බණ්ඩාරනායක මිනී මැරුම් නඩු විභාගයේ දී ය. මෙම ප‍්‍රතිගාමිත්වය වසා ”බුද්ධ ශාසනය” රැුකගැනීමට ඉදිරිපත්  වූ ඞී. බී. ධනපාල එම ඝාතනය ශ‍්‍රමණ වේශධාරියෙක් විසින් කරන ලද්දක් බවක් සිල්වත් සංඝයා එයට සම්බන්ධ නොවූ බවත් ඔහුගේ ලංකාදීප පත‍්‍රය පුන පුනා කීවේ ය. එසේ නමුත් බුද්ධ රක්ඛිත එහි ප‍්‍රධාන කුමන්ත‍්‍රණකරුවෙක් ව සිටි බව නඩු විභාගයේ ද හෙලි විය.

බි‍්‍රතාන්‍ය

මාර්ටින් වික‍්‍රමසිංහ මාක්ස්වාදය පිළිබඳව දුර්මත දැරීම නිසා ඔහුට සමාජ සත්තාව පිළිබඳ නිවැරදි ෙඓතිහාසික අවබෝධයක් ලබා ගැනීමට නොහැකි විය. ‘බුදු සමය හා සමාජ දර්ශනය’ කෘතියේ සංඥපනයේ දී ඔහු මෙසේ කියයි. ‘එංගලන්තයේ පාලන බලය අතට ගත් කම්කරු පක්‍ෂය සමාජ වාදීන්ගෙන්ම සෑදුනකි. ඔවුන්ගේ පරමාර්තය වන උත්තර සමාජයත් රුසියාවේ කමියුනිස්ට් වාදීන්ගේ පරමාර්තය වන උත්තර සමාජයත් දෙකක් නොව එකකි. ඔවුන් අහසට පොළොව මෙන් දුරස්තීන වන්නේ එ් සමාන පර්මාර්තයනට ලඟාවීම සඳහා ගන්නා මඟ විසිනි. උත්තර සමාජය පිහිට විය යුත්තේ වර්තමාන සමාජය ක‍්‍රමයෙන් සකස් කිරීමෙනි ය. යන්න බි‍්‍රතාන්‍ය සමාජවාදීන්ගේ මතයයි.’

අවුරුදු 200ක් පමණ බි‍්‍රතාන්‍ය කම්කරු ව්‍යාපාරයේ ඉතිහාසය නම් එය වෘත්තීය සමිතිවාදය තුළ කම්කරු පංතිය සිරකර තැබීමයි. කම්කරු පංතිය ස්වාධීනව බලය ගත යුතු ය යන මාක්ස්වාදී න්‍යාය බි‍්‍රතාන්‍ය වෘත්ති සමිති තුළ පීලි පැන්වූයේ එකී සංශෝධනවාදී වෘත්තීය සමිති නායකත්වය විසිනි. බි‍්‍රතාන්‍ය කම්කරු පංති ඉතිහාසය පිළිබඳව වික‍්‍රමසිංහට දුර්වල දැනුමක් තිබුණි.

වික‍්‍රමසිංහගේ මෙම දේශපාලන අනවබෝධය ගලා එන්නේ කොතනින් ද?
එය ගලා එන්නේ ගත් කතුවරයාගේ විඥන වාදයෙනි. වික‍්‍රමසිංහ දාර්ශනිකව භෞතිකවාදි චින්තනය ප‍්‍රගුණ නොකළේ ය. එමනිසා ඔහු තමා තර්ක භෞතික වාදියෙකියි වර්ග කරගෙන සිටියද ඔහුගේ විධි ක‍්‍රමය තර්ක භෞතිකවාදී විදික‍්‍රමයට සතුරුව සිටියේ ය. ‘මා තර්ක භෞතික වාදය විවරණය කරන්නේ මගේම බසිනි; මා සිතන සැටියෙනි; මා එ් දර්ශනය වටහාගත් සැටියෙනි. එහෙයින් මා අනුගමනය කරන්නේ මට හුරුවූ සිතුම් ක‍්‍රමයකිනි.’ (බුදුසමය හා සමාජ දර්ශනය පිට 04)

සත්‍යය

යමෙකු දෛයිලක්තිකය තමාගේ පූර්ව නිගමනයන් ඔප්පු කිරීමට පාවිච්චි කළ විට එය එහි විරුද්ධ පැත්තට මාරුවෙයි. වික‍්‍රමසිංහ ඔහුගේ පුර්ව නිගමනයක් වූ සුදු මිනිසුන් හා ඔහුගේ ශ‍්‍රාවකයන්, සිංහල සිරිත පහත් කොට සලකන සිංහල නොදත්තෝ හා බමුණු කුලය යයි හඳුන්වන විට සිදුවූයේ එයයි. ‘සුදු මිනිසුන් හා ඔවුන්ගේ ශ‍්‍රාවකයන්’ ඇත්ත වශයෙන්ම ප‍්‍රගතිශීලී පංතියක් විය. අප කළින් කිවූ සංස්කෘතික අංග මෙන්ම මුද්‍රණ ශිල්පය, පුවත් පත්, පාර්ලිමෙන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මැකඩම් පාරවල්, ටෙලිග‍්‍රෑම් හා විදුලි බලය මෙරටට හඳුන්වා දුන්නේ වික‍්‍රමසිංහ බමුණු කුලය යයි හැඳින්වූ ඉංග‍්‍රීසි උගත් නිලධාරි පංතිය මිස සිංහල රජවරුන් නොවේ. අපේ නූතන සිංහල සංස්කෘතිය ඉංග‍්‍රීසින්ගේ කාර්මික විප්ලවයේ ප‍්‍රතිඵලයකි. අවුරුදු 3000 කටත් වැඩිය මේ රට ආසියාවේ වැඩවසම් ක‍්‍රමය අනුව පාලනය කළ සිංහල රජුන් වැඩවසම් නිශ්පාදනය තුළ ස්වභාව ධර්මයා වන්දනාමාන කරනු විනා ස්වභාව ධර්මය සමග මිනිසා කරන අරගලය මිනිස් සමාජයේ වර්ධනය සඳහා යෙදවීමට මෙහෙය නොවූහ. වික‍්‍රමසිංහගේ රචනාව ඔහුගේ ශෛල්‍යයේ නිතර දකින්නට ලැබෙන දුර්වලකමක් වන සාරසංග‍්‍රහ වාදයෙන් අනූන වෙයි. එහෙන් මෙහෙන් කරුණු ඇහිඳගෙන තමාගේ ස්වාධීන අදහස් වෙනුවට අදහස් සංකලනයක් – බොහෝවිට නිගමනයන් නොමැතිව – ඉදිරිපත් කිරීමට වික‍්‍රමසිංහ මෙහෙය වී තිබේ. එයට මූලික හේතුව කුඩා ¥පතක බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් යටත් වූ සංස්කෘතික වර්ධනයක ඔහු සිරකරුවා වූ නිසා විය හැක.

පුනරුදය

යුරෝපයේ බටහිර දර්ශනය වර්ධනය වීමට විශේෂ හේතු තිබුණේ ය. රෝම ග‍්‍රීක කාලයේ සිට පැවති ප‍්‍රාණවාදී (animism) ඇදහිලි වෙනුවට එක දෙවියකු ඇදහීම ක‍්‍රිස්තුන් වහන්සේගේ පසුව ඇති වීම බටහිර චින්තන ක‍්‍රමයේ එක්තරා වර්ධනයකි. එම වර්ධනය නිසා පාප් වහන්සේ ශුද්ධ රෝම රාජ්‍යයේ ප‍්‍රධානියා වශයෙන් පදවි ප‍්‍රාප්ත වීමෙන් පසුව යුරෝපයේ විශාල භූමි ස්කන්ධයක් කතෝලික පල්ලිය යටතේ විය. මෙයට විරුද්ධව වැඩවසම් ක‍්‍රමය දියවී යාම ඉන්පසුව යුරෝපයේ වූ පුනරුදය, රෙපරමාදුව නැගීම බුද්ධි වර්ධනය සඳහා වූ මූලික කරුණ විය. බටහිර ලෝකයේ මේ සිදුවීම් තාර්කික ඥනය වර්ධනය වීමට හේතු විය. එම වර්ධනය විප්ලවකාරී වීය. ප‍්‍රංශ විප්ලවයට හේතු වූයේ එම වර්ධනය ය. මේවා දේශපාලන වර්ධනයන් ය. වික‍්‍රමසිංහ මෙම වර්ධනයන් දැක ඇත්තේ විඥනවාදියෙකුගේ මනස තුලිනි. ඔහුගේ Revolution and Evolution නම් ග‍්‍රන්ථයේ ඔහු ‘Revolution is an aspect of Evolution’ යි කියයි. (විප්ලවය ද විකාශනයේ අංගයක) මෙය ඇත්ත නොවේ. විප්ලවය යන මිනිස් විඥනයේ පිම්මකි. මේ කරුණු නිසා මාර්ටින් වික‍්‍රමසිංහගේ චින්තනය වර්ධනය වී ඇත්තේ ආත්මීය විඥනවාදියකුගේ චින්තනය වශයෙනි. ඔහුගේ ලෝක දෘෂ්ඨියේ තිබුණ සීමාකම් නිසා 1956 බලය ගත් දේශිය ධනපති පංතියේ නියෝජිතයන් ඔහු දුටුවේ ඉංග‍්‍රීසි උගතුන්ට වඩා උසස් පංතියක් ලෙස ය. ඔහුගේ චින්තන ප‍්‍රවාහය යුතෝපියානු ප‍්‍රවාහයට වැඩියෙන් වර්ධනය නොවී ය. යුතෝපියානුවන් මොකක් හෝ ක‍්‍රමයකින් සමාජය වෙනස් වනු ඇතැයි බලාපොරොත්තු වූ කුලයකි. ප‍්‍රංශයේ ෆූරියර් ගේ අදහස් එබඳු විය. රුසියාවේ නැරොඞ්නික් වරුන් ඇතුළු ආත්මීය සමාජ විද්‍යාඥයන්ද මෙවැනි අදහස් දැරුවෝ ය. යුතෝපියන්වරුන් සමාජ වර්ධනය සඳහා එකිනෙකාට ආවේනික වූ අදහස් දැරුවෝ ය. රුසියානු ගම්බද ජනතාව මැදි කරගෙන ‘වර්ධනයේ න්‍යායන්’ සෑදීම ඔවුන් අතර ජනප‍්‍රිය විය. ගම හදා රට හැදීම ද මෙවැනි යුතෝපියානු මතයකි. ”රටේ පාලනය අතට ගත් ඉංග‍්‍රීසි උගත් බමුණු කුලය කෙරෙහි පොදුජනයා තුළ හටගත් අමනාපය හා කෝපයත් යට බැස කැකෑරෙමින් පැසෙන්නට විය. ඔවුන්ගේ එ් අමනාපයන් කෝපයෙන් පිට කරනු පිණිස බෞද්ධ කොමිෂන් සභාව නිසා ඔවුන්ට අවස්ථාවක් ලැබිණ” එසේම ”සංස්කෘතියක් විසින් සකස් කරනු ලබන ජනකායකගේ ගති සිරිත් නොදැන, නොතකා, එ් ජනකාය පාලනය කරන්නට වෑයම් කරන මන්ත‍්‍රීන්ට පමණක් නොව අත්තනෝමතික පාලකයන්ට වුවද විපතකට මුහුණ පාන්නට වන්නේ ය.”යි වික‍්‍රමසිංහ ඔහුගේ රචනාවේ කියයි. වික‍්‍රමසිංහගේ මෙම යුතෝපියානු අදහස් පශ්චාත් නිදහස් යුගයේ සිංහල අන්තවාදී ප‍්‍රවණතාවයන්ට හේතු විය.

මොන්ටෙස්ක්‍යු

ප‍්‍රංශයේ සිටි සිස්මොන්සි, ගුයිසෝට් මොන්ටෙස්ක්‍යු, සාන්ත සයිමන් වැනි අය නැගී එන ධනවාදය විවේචනය කළහ. නමුත් එම විවේචනවල විද්‍යාත්මක පදනමක් නොමැති නිසා ඔවුන් මනඃකල්පිත යුතෝපියානු සමාජවාදීන් විය. ඔවුන්ට සමගාමීව ජර්මනියේ විඥනවාදී දර්ශනය වර්ධනය වූයේ හෙගල් අතිනි. හෙගල් කීවේ අපෝහකය මුළු ජීවිතයේම පදනම බවයි. ජර්මන් විඥනවාදී චින්තනයේ අග‍්‍ර ඵලය වූයේ හෙගල්ගේ දර්ශනවාදි විධි ක‍්‍රමයයි. එහි විඥනවාදී අංශය නිශේධනය කිරීමෙන් කාර්ල් මාක්ස් අපෝහක විධික‍්‍රමය හා විප්ලවවාදී දේශපාලන න්‍යාය වර්ධනය කළේ ය. ලෙනින් මනුෂ්‍ය සමාජයේ ප‍්‍රථම සමාජවාදී රාජ්‍යය පිහිටුවීමට 1917 දී එය භාවිතයට ගනී. මාක්ස්වාදය බිහිවුනේ ඉංග‍්‍රීසි දේශපාලන න්‍යාය, ප‍්‍රංශ සමාජවාදය සහ ජර්මන් විඥනවාදි දාර්ශනික ධාරාවේ සංකලනයකින් නමුත් යුතෝපියානු සමාජවාදයේ සිට විද්‍යාත්මක සමාජවාදයට පැමිණියේ දීර්ඝ කාලීන න්‍යායික අරගලයකිනි. එන්ගල්ස්ගේ Socialism: Utopian and Scientific ග‍්‍රන්ථය එම න්‍යායික අරගලය පැහැදිලි කරයි.
මහගත්කරු මාක්ස්වාදයේ මෙකී න්‍යායික වර්ධනයයේ ඉතිහාසය හදාරා නැති බව ඔහුගේ විධි ක‍්‍රමයන් හැදෑරීමෙන් වටහාගත හැකි ය. එම නිසා ඔහු මාක්ස් එන්ගල්ස් ලෙනින් වැනි අයගේ උද්ධෘත පාඨ තමන්ගේ ගතානුගතික අදහස් සනාථ කිරීමට මන්තර ලෙස පාවිච්චි කරයි. වික‍්‍රමසිංහගේ සාර සංග‍්‍රහවාදයේ පදනම මෙය වන අතර පසුකාලීන සුළු ධනේශ්වර සිංහල ලේඛකයින් ගනනාවකගේ ශෛ්‍යලියට මෙය බලපා ඇත. සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර, නලින්ද සිල්වා නිදසුන් ය. ජාතික චින්තනයට ද මෙම ප‍්‍රවණතාවයන් මුල් විය.
වික‍්‍රමසිංහ ප‍්‍රගතිශීලී බලවේගයක් වශයෙන් සැලකු සඟ වෙද ගුරු පංතීන් ඇත්ත වශයෙන්ම
ප‍්‍රතිගාමී බලවේග වශයෙන් එදා මෙන්ම අදත් ක‍්‍රියාකරන අතර ඔවුන් දාමරිකත්වය ඔවුන්ගේ දාර්ශනය කරගෙන වැජඹෙති. සඟ පරපුර බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම ඉරා දැමීමට මුල්වූ නිසා මෙරට දමිළ ජනතාවට දේශපාලන අන්තගාමයට යාමට සිදු විය. මෙම බලවේගවල අන්තගාමිත්වය කොපමණ මට්ටමකට පැමිණ ඇත්දැයි සලකතහොත් මීට අවුරුදු දෙකකට පමණ ඉහත ලංකාවට පැමිණි ෂාරුක් ඛාන් නළුවාට බෝම්බ ගැසීමට පවා ඔවුන් මෙහෙය විණ. බෝම්බ ගැසූ අයට මේ වනතෙක් දඬුවම් පැමිණවූ බව හෙලවී නැති වීමෙන් මෙම අන්තවාදී බලවේගවල ග‍්‍රහණයේ රාජ්‍යය පැවතෙන බව පෙනී යයි.

සිරිසේන

පියදාස සිරිසේන, ඩබ්ලිව්. ඒ. සිල්වා හෝ ජී. බී. සේනානායක වැනි 20 වැනි ශතවර්ෂයේ අනෙකුත් ලේඛකයන්ට වෙනස්ව මහගත්කරු ඉතිහාසය පිළිබඳ සංකල්ප වර්ධනය කිරීමේ ව්‍යායාමයක් ඔහුගේ ‘බමුණු කුලය බිඳ වැටීම’ රචනාවෙන් විදහා දක්වයි. නමුත් එම ප‍්‍රයත්නය රටේ පවතින බෞද්ධ විඥනයට යට කිරීම නිසා එම ප‍්‍රයත්නය අඩාල වී ඇත.

20 වැනි ශතවර්ෂය තුළ දී ශ‍්‍රී ලංකාව, ඉන්දියාව වැනි ආසියාතික රටවල ඉතිහාසයේ සිදු වූ ශ්‍රේෂ්ඨතම සංසිද්ධිය නම් එම රටවල වෙරළට යුරෝපයේ සිට මාක්ස් වාදය සේන්දු වීම ය. ඓතිහාසිකව බලන කල මෙය ආසියානු චින්තනයේ අවුරුදු 3000 ක පමණ ඉදිරි පිම්මකි. එයට හේතුව වැඩවසම්වාදී ආර්ථික ක‍්‍රමය යටතේ මිථ්‍යා විශ්වාස හා ඇදහිලිවලට භාජනය වෙමින්, එකතැන පල්වෙමින් තිබුණු චින්තන ධාරාවන් ලෝක ඉතිහාසය තුල වර්ධනය වුණු උසස්ම යුරෝපීය චින්තනයෙන් පෝෂණය වීම ය. 1935 දී ලංකාවේ සමසමාජ පක්ෂය පිහිටුවීමෙන් අවුරුදු 3000 ක පමණ සිට ග‍්‍රීක ශිෂ්ටාචාර කාලයේ සිට වර්ධනය වූ චින්තන ධාරාවේ ආභාෂය මෙහි සිටි බුද්ධිමතුන්ට ලැබීමය. මාර්ටින් වික‍්‍රමසිංහ මෙම චින්තන ප‍්‍රවාහයට ආකාර්ශනය වූයේ නැත. එමනිසා ඔහු වර්ධනය කිරීමට උත්සාහ කළ ඉතිහාසය පිළිබඳ න්‍යාය අර්බුදයට ලක් විය. ඔහුගේ ඉතිහාසය පිළිබඳ අවබෝධය සාරසංග‍්‍රහ වාදී ප‍්‍රතිඵලයකි.

කාල් මාක්ස් සහ එ්ංගල්ස් ‘මෙතෙක් පැවති සමාජ ඉතිහාසය පන්ති සටන්වල ඉතිහාසය වේ යැයි පැහැදිලිව ප‍්‍රකාශ කළ ඇත්තේ ඉතිහාසය පිළිබඳව භෞතිකවාදී න්‍යාය අනුවයි.

වික‍්‍රමසිංහගේ ‘බමුණු කුලය බිඳවැටීම’ අතිශයින් ව්‍යාකූල රචනාවක් බවත් – වික‍්‍රමසිංහ එසේ අදහස් කරන්නට නොමැති වූවත් – උග‍්‍ර සිංහල වර්ගවාදයට සහ අවුරුදු 26 ක සිවිල් යුද්ධයකට පාදක වූ බව පැහැදිලි වනු ඇත.

සෝමචන්‍ද්‍ර විජේසූරිය

කොරින් විලියම් රෙඞ්ගේ‍්‍රව් (1939-2010) රංගනයේ පරිත්‍යාගය

(මෙම ලිපිය මැයි 16 ‘රාවය’ පත‍්‍රයේ පළ විය. අග්නි බ්ලොග් අඩවිය තුල මේ පලවන්නේ එම ලිපියේ සංස්කරණය නොකල පිටපතයි)

එංගලන්තයේ සුප‍්‍රකට හා ජනාදරයට පත් නළුවකු වු කොරින් විලියම් රෙඞ්ගේ‍්‍රව් හෑත්තෑඑක් වියට එළඹිමට තෙමසක් තිබිය දී අපේ‍්‍රල් හයවැනිදා නිරිතදිග ලන්ඩනයේ පිහිටි සාන්ත ජෝර්ජ් රෝහලේ දී මියැදුණි. 2005 වසරේ දී රැස්විමක් අමතමින් සිටිය දී තදබල ලෙස හෘදයාබාධයකට ගොදුරු වු ඔහු මියගියේ පුරස්ථිති ග‍්‍රන්ථයේ හටගත් පිළිකාවෙනි. 2009 වසරේ සිට නැවත වේදිකාවේ රඟපෑ කොරින් මියයන විට දී අනාගත රංගශාලීය ප‍්‍රක්ෂේපණ පිළිබඳ සංවාදයේ හවුල් කරුවෙකු ව සිටියේ ය. කොරින් විලියම් රෙඞ්ගේ‍්‍රව් අපේ‍්‍රල් දොළොස්වෙනිදා ලන්ඩනයේ සාන්ත පාවුඵ සොහොන් බිමේහි මිහිදන් කෙරිණි.

කොරින් රෙඞ්ගේ‍්‍රව් ඔස්කාර් සම්මානලාභී සුරූපී වැනෙසා රෙඞ්ගේ‍්‍රව්ගේ බාල සොහොයුරා ය. රෙඞ්ගේ‍්‍රව්වරු පරම්පරා ගණනාවක් ම නඵකමට කැපවුනු නව නඵරසය ඉහළින් ම මතු කළ පුද්ගලයෝ වුහ. මෙසේ මොවුන්  අයත් වන්නේ රංගන කලාවේ හොඳින් මුල් බැස ගත් පෙළපතකට ය. ඇත්තට ම නම් මොවුන් එංගලන්තයේ පළමුවැනි රංගන ගෙවැස්සෝ වුහ.
ඔස්ටේ‍්‍රලියාවේ 1922 දී මියැදුණ කොරින්ගේ පිය පස සීයා රෝයි රෙඞ්ගේ‍්‍රව් වේදිකා හා නිහඩ සිනමාවේ නඵවෙකි. කොරින්ගේ පිය පස ආච්චි මාර්ගට් ස්කැඩමෝර් ද නිළියකි. කොරින්ගේ පියා මයිකල් රෙඞ්ගේ‍්‍රව් (1905-1985) බි‍්‍රතාන්‍ය වේදිකාවේ හා සිනමාවේ ගෞරවයෙන් සැලකුම් ලැබු නඵවකි. මොහු අයත් වන්නේ ලොරන්ස් ඔලිවියා, ජෝන් ජිල්ගුඞ්, රැල්ප් රිචඞ්සන් හා ඇල්ක් ගුනියස් බඳු අසහාය නළු පරපුරට සමාන්තර ව ය. කොරින්ගේ මව රචල් කෙම්සන් (1910 – 2003) වේදිකාවේ හා සිනමාවේ කීර්තිධර නිළියකි.

කොරින් රෙඞ්ගේ‍්‍රව්ගේ සොහොයුරියන් වු වැනෙසා හා ලයින් විශිෂ්ට නිළියන් දෙදෙනකි. මින් වැනෙසා රෙඞ්ගේ‍්‍රව්, ජුලියා (1978) චිත‍්‍රපටයේ රඟපෑම සඳහා ඔස්කාර් සම්මානය හිමි කර ගත් අතර, එකී සම්මානයට අමතර ව ඇය රඟපෑම සඳහා එමි, ටෝනි, කෑන්ස්, ගෝල්ඩන් ගෝල්බ් හා සිනමා නළුවන්ගේ සංසදයහි සම්මාන ලබා ගත්තා ය. වැනෙසාගේ දියණියන් වු ජොලි හා නාටාෂා ද කොරින්ගේ දියණිය වු ජෙම්මා ද නිළියෝ ය. මින් නාටාෂා හා ජෙම්මා පසුගිය වසරේ දී හිම සපත්තු ලා ගෙන හිම මත ඇවිදිමේ දී ඛේදනීය ලෙස අනතුරට පත්ව මිය ගියහ. කොරින්ගේ පුත‍්‍ර ලූක් සිනමා කැමරාකරුවකු හා සිනමා සහය නිෂ්පාදකයකු වේ.

කොරින් වෙස්ට්මිනිස්ටර් පාසැලේ ද, කින්ස් විද්‍යාලයේ ද පසුව කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ ද ඉගනුම ලැබුවේ ය. විශ්වවිද්‍යාලයෙන් ඉක්බිතිව ලන්ඩන් නගරයේ සුපතළ රෝයල් කෝට් නාට්‍යශාලාවට සම්බන්ධිතව රංගනය කාර්යයේ කොරින් වයස අවුරුදු 22 දී ෂේක්පියර්ගේ A Midsummer Night’s Dream නිෂ්පාදනය කෙළේ ය. ඔහු එහි දී ලයිසැන්ඩර්ගේ භූමිකාව රඟ පෑවේ ය. ඔහු ප‍්‍රශංසාවට පාත‍්‍ර වු පළමු වැනි සිනමාව වන්නේ 1964 දි ප‍්‍රදර්ශනය වු The Avengers ය.

චිත‍්‍රපටි තිස්හතකට ආසන්න ප‍්‍රමාණයක රඟ පෑ ඔහු වැනෙසා රෙඞ්ගේ‍්‍රඞ්ගේ සහය නළුවා වශයෙන් ද චිත‍්‍රපට ගණනාවක රඟ පෑවේ ය. මින් A Man of All Seasons (1966), ‘The charge of the Light Brigade (1968),  Oh! What a Lovely War (1969) වඩාත් ජනප‍්‍රිය චිත‍්‍රපට වේ. කොරින් The Deadly Affair (1966) චිත‍්‍රපටයේ රඟ පෑවේ අනෙක් සොහොයුරිය වු ලයින් සමග ය. කොරින් රඟ පෑ Four Weddings and a Funeral වඩාත් පේ‍්‍රෂක අවධානයට ලක් විය.

ඔහු වේදිකාවේ දී රඟ පෑ Much Ado About Nothing, Henry iv, Part 1, Antony and Cleopatra, The Tempes’ නාට්‍ය වඩාත් ම ජනප‍්‍රිය විය. ඒ අතර ටෙනිසි විලියම්ගේ ‘Not About Nightingales’ නාට්‍යයේ ප‍්‍රධාන චරිතය රඟ පෑ කොරින්ට ‘ඔලිවියර්’ සම්මානය ලැබිණි. මේ අතර ‘ටෝනි’ සම්මානය සඳහා ද නිර්දේශ කෙරිණි. ‘ෂේක්පියර් ජන්මෝත්සව’ සම්මානය 2005 දී කොරින්ට ලැබුනේ ෂේක්පියර්ගේ ජිවිතය හා වීරකාව්‍ය පෝෂණය කිරිමට දැරු අසමාන්‍ය ප‍්‍රයත්නයට උපහාරයක් වශයෙනි. කොරින් චයිචෙස්ටර් රැඟුම්පළ වෙනුවෙන් ‘Bluntly Speaking’ නාට්‍ය තිරපිටපත රචනා කෙළේ ය.

කොරින් හා ට්‍රොට්ස්කිවාදය

කොරින් රෙඞ්ගේ‍්‍රව් පිළිබද මෙකී සැමැරැම් සටහනට හේතු වන්නේ හුදෙක් ඔහු සම්මානීය නළුවකු නිසා ම නොව ඔහු දරා සිටි දේශපාලන මතවාදයේ විශීෂ්ටත්වය නිසා වේ. ජෙරි හිලිගේ නායකත්වයෙන් යුත් බි‍්‍රතාන්‍ය ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට (එවකට සමාජවාදි කම්කරු ලීගය, පසුව කම්කරු විප්ලවවාදි පක්ෂය) 1970 මුල් භාගයේ දී ආකර්ශණය වු බි‍්‍රතාන්‍යයේ ප‍්‍රමුඛ පෙලේ කලාකරුවන්ගේ, ලේඛකයන්ගේ හා බුද්ධිමතුන්ගේ පරම්පරාවට කොරින් රෙඞ්ගේ‍්‍රව් සමගින් වැනෙසා රෙඞ්ගේ‍්‍රව් ද අයත් වුහ.

දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිතිව බි‍්‍රතාන්‍ය ආර්ථික වශයෙන් බංකොලොත් වී තිබුණු අතර අධිරාජ්‍ය ද බිඳ වැටෙමින් තිබිණි. කම්කරු පන්තිය අබල දුබල රදල පන්තියට හා පොදුවේ පාලන තන්ත‍්‍රයට එරෙහි ව සටන් කරමින් සිටියහ. කලාකරුවෝ මාක්ස්වාදී ව්‍යාපාරය දෙසට ආකර්ශණය වීම මෙකී තත්වයේ ම පිළිඹුවක් වන අතර, බි‍්‍රතාන්‍යයේ බුද්ධිමය හා සංස්කෘතික අසාමාන්‍ය කැළඹීමකි. ඇත්තට ම ඊට පෙර දශකයන්හි සිනමාව තුළ මෙකී පෙරළිකාරිත්වයේ ඇඟවුම් දකින්නට ලැබිණි.

1950 දශකයේ මැද භාගයේ දී එංගලන්තයේ කම්කරු පන්තියේ කණ්ඩායමක් හා පහළ මධ්‍යම පන්තික ලේඛකයන් පිරිසක් එක්ව ‘Angry Young Men’ නම් වු සංවිධානයක් පිහිටුවා ගත්හ. මෙම කණ්ඩායමට ජෝන් ඔස්බොර්න්, කින්සිලි එමිස්, ජෝන් බ්‍රෙන් හා ඇලන් සිලොති අයත් වුහ. රංග ශීල්පියකු වු රිචඞ් බර්ටන් මෙකී ප‍්‍රවණතාවයේ  කැපී පෙනෙන අයකු විය.

1960 මුල් දශකයේ දී ‘බි‍්‍රතාන්‍ය නව රැල්ල’ යන්නෙන් හැඳින්වු ප‍්‍රවණතාවයට එක් වු අධ්‍යක්ෂකවරුන් සිනමාවේ හා රූපවාහිනියේ වාම නැඹුරුවක් සහිත ආකෘතිවලින් යුත් චිත‍්‍රපට නිපද වුහ. මින් ලින්ඞ්සේ ඇන්ඩර්සන්ගේ This Sporting Life, කාරිල් රියස්ගේ Saturaday Night and Sunday Morning හා ටෝනි රිචඞ්සන්ගේ The Loneliness of the Long Distance Runner චිත‍්‍රපට ජනප‍්‍රියට පත් විය. මෙම ‘නව රැල්ල’ සමග ඇල්බට් ෆනී, ටොම් කොට්නේ, ඇලන් බේට්ස්, රිටා තුසින්හම් හා රිචඞ් හැරිස් වැනි නව රංග ශීල්පිහු සිනමාවට ආවෝ ය.

මෙම වකවානුවේ නිර්මාණ ගැඹුරු කලාත්මක ආස්වාදනීය නිර්මාණ නොවු වුවත් කෙළින් කියන, කුපිතකාරී ඒවා විය. එමෙන් ම බි‍්‍රතාන්‍ය සිනමාව හා වේදිකාව කම්කරු පන්තියේ ජිවිත දෙසට නැඹුරු වීම ද දකින්ට පුළුවන. සත්තකින් ම මේ නිර්මාණ භාවාතිශය නොවී ය. එහෙත් ඉහළ ම මට්ටමින් අව්‍යාජ විය.

විප්ලවවාදී කැළඹීම වැඩි වැඩියෙන් ප‍්‍රකාශයට පත් වු බි‍්‍රතාන්‍ය පන්ති සමාජය තුළ පාර්ශ්වයක් නොගෙන සිටින්නට කලාකරුවන්ට හා බුද්ධිමතුන්ට නොහැකි විය. හැටේ දශකයේ අවසාන භාගය වන විට ඒ වන විටත් කැපී පෙනෙන නිළියකු වු ද තම සොහොයුරිය වු ද වැනෙසා රෙඞ්ගේ‍්‍රව්ගේ මුලිකත්වයෙන් ලන්ඩනයේ පැවැත්වු වියට්නාම් යුද්ධයට විරුද්ධ පෙළපාලිවලට කොරින් රෙඞ්ගේ‍්‍රව් ද සහභාගි වුයේ ය. ඉනික්බිතිව කොරින් රෙඞ්ගේ‍්‍රව් 1970 දී සමාජවාදී කම්කරු ලීගයට සම්බන්ධ වුයේ ය.

කොරින් රෙඞ්ගේ‍්‍රව් තම සොහොයුරිය වු වැනෙසා රෙඞ්ගේ‍්‍රව් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනිමට සමත් වුයේ ය. මොවුන්ට සමාන්තරව මේ වකවානුවේ දී ම තවත් බොහෝ කලාකරුවන් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට ආකර්ශණය වුහ. ඒ අතර සිනමා හා රූපවාහිනි අධ්‍යක්ෂකවරුන්, තිර රචකයන්, නළු නිළියන්, කැමරාකරුවන්, ගායක ගායිකාවන් හා සංගීත කණ්ඩායම් ද වුහ. සමාජවාදි කම්කරු ලීගය 1971 පෙබරවාරි මාසයේ දී ඇලැක්සැන්ඩ‍්‍රරා මන්දිරයේ පැවැත්වු අති දැවන්ත ‘ටෝරි ආණ්ඩු විරෝධි රැළියේ’ දී සියයකට ආසන්න ප‍්‍රමාණයක් වු මෙම කලාකරුවන්ගේ පුර්ණ සහභාගිත්වයෙන් ඉදිරිපත් කළ ‘කම්කරු පන්තියේ වසර 200ක ඉතිහාසය’ නම් වු උපහාසාත්මක සංගීතමය වැඩ සටහනේ විස්තර ප‍්‍රකාශකයා වුයේ කොරින් රෙඞ්ගේ‍්‍රව් ය.

1971 ජුලි පළමුවෙනිදා නිකුත් වු සමාජවාදී කම්කරු ලීගයේ දිනපතා පුවත්පත වන ‘Workers Press’ හි ඉදිරිපත් වු පාඨක අදහස් ලිපි සරණියේ, ‘මම ‘Workers Press’ පත‍්‍රය කියවන්නේ ඇයි?’ යන්න පිළිබඳ ව කොරින් රෙඞ්ගේ‍්‍රව් මෙසේ අදහස් දැක්වී ය. ‘මම ‘Workers Press’ පත‍්‍රය කියවන්නේ රටේතොටේ සිදුවන්නේ කුමක් දැයි සොයා බැලිමට යි. අනෙක් පුවත්පත් පිටු 20කින් කියනදේ මේ පුවත්පතේ පිටු හතරකින් ගැඹුරින් ම අවධාරණය කරනවා. අනෙක් අතට අනෙක් පත‍්‍රවල අරමුණත් එය නෙවෙයි. ඔවුන් ‘පක්ෂග‍්‍රාහී නො වු වාර්තාකරණය’ විලාසයෙන් ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරිමේ අරමුණ වන්නේ පාඨකයා අනවධානව තැබිම යි. එසේත් නැතිනම්  ඕනෑ නැති කරුණු කෙරෙහි පාඨක අවධානය යොමු කිරිම යි. ෆීල්ට් විදියේ පුවත්පත්වලට ඇත්තේ මැයි මැස්සාගේ ජීවන චක‍්‍රය යි, ප‍්‍රවෘත්තියක් වශයෙන් ආරම්භ වී අවසාන වන්නේ අමු ම අමු කැළිකසළ ගොඩක් ආකාරයට යි. එහෙත් දැනුම යන්න ප‍්‍රවෘත්තියක් මෙන් නොව, නොනවත්වා ම වර්ධනය වන්නා වු සන්තතියකි. අන්න ඒ නිසා යි, ‘Workers Press’ පත‍්‍රයේ ඇතුල් පිටුවල විශේෂාංග ලිපි එතරම් ම වැදගත් වන්නේ. ඔවුන් ප‍්‍රවෘත්තිය ඓතිහාසික, දාර්ශනික හා විද්‍යාත්මක ආකාරයට විශ්ලේෂණය කරනවා.’
පක්ෂයේ නළුවන්ගේ සංසදය ඉදිරිපත් කළ ‘කොම්වෙලියානු විප්ලවය’, ‘රුසියානු විප්ලවය’, ‘අවපාත කාලපරිච්ජේද’, ‘ස්ටැලින්ගේ මර්ධනය යටතේ රුසියාව’ යන නාට්‍ය රචනා කොට අධ්‍යක්ෂණය කළේ කොරින් රෙඞ්ගේ‍්‍රව් විසිනි.

ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට ආකර්ශණය වු බොහෝ කලාකරුවන් මෙන් නොව කොරින් රෙඞ්ගේ‍්‍රව් සුවිශේෂ ලෙස මාක්ස්වාදය හා ට්‍රොට්ස්කිවාදය ගැඹුරින් අධ්‍යයනය කිරිමටත්, සමාජවාදි මුලධර්ම මත කම්කරු පන්තිය තුළ පක්ෂයක් ගොඩ නැගීමටත් නැඹුරු වුයේ ය.
එහෙත් මෙම ප‍්‍රයත්නය මුදුන් පත් කර ගැනිමට බි‍්‍රතාන්‍ය තුළ හා ජාත්‍යන්තරව වර්ධනය වු දේශපාලනය කොරින්ට වාසිදායක තත්වයක් නිර්මාණය නො කෙළේ ය. එහෙයින් කොරින් රෙඞ්ගේ‍්‍රව්ගේ දේශපාලන ජිවිතය කෙබඳු හැඩගැස්මක් කරා යොමු වුයේ දැයි පිරික්සිමට නම් ඔහු නියෝජනය කළ පක්ෂයට සම්බන්ධිතව විමසා බැලිය යුතු වේ. 70 දශකය හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට මෙන් ම එහි නායකත්වයේ සිටි බි‍්‍රතාන්‍ය ශාඛාවට ද ඉමහත් වැදගත් කාලපරිච්ජේදයක් විය. 1974 දී බි‍්‍රතාන්‍ය ලේබර් පක්ෂය ජයග‍්‍රහනය කිරීම, යුරෝපයේ දේශපාලන ජිවිතය ‘සාමාන්‍යකරනයට’ පත්විම, 1974 දී පෘතුගාල විප්ලවය පරාජය වීම, ස්පාඤයේ ෆ‍්‍රැන්කෝවාදය ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හැරීම යන සියලූ සංසිද්ධින් තුළින් සමාජවාදි කම්කරු ලීගයේ නායකත්වය බි‍්‍රතාන්‍ය හා යුරෝපියානු කම්කරු පන්තියේ විප්ලවවාදි ශක්‍යතාවය පිළිබ`ද අසාරදර්ශනයක් ඇති කර ගැනිණි. මින් වෘත්තීය සමිති නිලධාරි තන්ත‍්‍රයට, ජාතික ධනපති පන්තියට, කැස්ත්‍රෝවාදින්ට හා මාඹ්වාදින්ට එරෙහිව මාක්ස්වාදය මත පදනම්ව විප්ලවවාදි පක්ෂය ගොඩ නැගීම හිතාමතාම අත්හරිනු ලැබු සමාජවාදි කම්කරු ලීගය ධනේශ්වර ජාතික විමුක්ති ව්‍යාපාර දෙසට, විශේෂයෙන් ම මැද පෙරදිග දී, හැරුණු අතර දේශීය වශයෙන් බි‍්‍රතාන්‍ය වෘත්තීය සමිති නිලධාරි තන්ත‍්‍රය බදා වැළඳ ගැනිණි.
70 දශකයේ මැද භාගය වන විට කොරින් හා වැනෙසා දෙදෙනා ම කම්කරු විප්ලවවාදී පක්ෂයේ (පෙර සමාජවාදි කම්කරු ලීගය) මධ්‍යම කාරක සභාවට හා දේශපාලන කමිටුවට තේරී පත් වන්නේ මෙම සන්දර්භය තුල දී යි. මේ වකවානුවේ දී ම කොරින් රෙඞ්ගේ‍්‍රව් විප්ලවවාදි කොමිනියුස්ට් සංගමයේ (සමාජවාදි සමානතා පක්ෂයේ පෙර ගමන්කරු) සම්මේලනයකට සහභාගිවිමට ලංකාවට පැමිණියේ ය.

ජෙරී හිලිගේ නායකත්වයෙන් යුත් කම්කරු විප්ලවවාදි පක්ෂය බි‍්‍රතාන්‍ය තුළ මාක්ස්වාදි පක්ෂයක් ගොඩ නැගිමේ වගකිමෙන් අපසරණය වීමට එරෙහිව ජාත්‍යන්තර ට්‍රොට්ස්කි ව්‍යාපාරය තුළ ඇමරිකානු ට්‍රොට්ස්කිවාදින් දේශපාලනිකව හා න්‍යායාත්මකව ආරම්භ කළ අරගලය කොරින් රෙඞ්ගේ‍්‍රව්ට තේරුම් ගත නොහැකි වු අතර, ඔහුගේ දේශපාලන හා පුද්ගලික ජිවිතය අර්බුදයකට යෑම 70 දශකයේ අවසාන භාගයේ හා 80 දශකයේ මුල් භාගයේ දී පැහැදිලිව ම දකින්නට ලැබිණි. මේ අරගලයේ දී කොරින් රෙඞ්ගේ‍්‍රව් හිලිගේ පාර්ශ්වය සමග එක්වු අතර, 1985 ශරත් සෘතුවේ දී ජාත්‍යන්තර කමිටුවෙන් ජෙරී හිලි නෙරපා හරින විට ඔහු සමග එක්ව ගියේ ය.

මින් කොරින් රෙඞ්ගේ‍්‍රව්ගේ බරසාර දේශපාලන ජිවිතය අවසන් විය. ඉන් පසු කොරින් 2004 දී ‘මාක්ස්වාදි පක්ෂය’ නම් වු සංවිධානයක් ගොඩනගා ගත් අතර, එකී සංවිධානය පලස්තීන ප‍්‍රශ්නය, වර්ගවාදය, ලෝක සාමය හා මානව අයිතිවාසිකම් පිලිබඳ ව උද්ඝෝෂණය කෙරිණි. පසුව ඔහු දේශපාලනය කාර්යයන්හි නිරත වෙන අතරේ ම නැවත රඟපෑම ආරම්භ කෙළේ ය.
70 දශකයේ බි‍්‍රතාන්‍ය විප්ලවවාදී ව්‍යාපාරයට ඇදී ආ කලාකරුවන් හා බුද්ධිමතුන් සත්‍ය වශයෙන් ම ඒ යුගයේ උත්කෘෂ්ටය නියෝජනය කළ අතර, ඔවුහු අතිශය දක්ෂ හා මානුෂිය ගුණාංගයන්ගෙන් හෙබි මිනිසුන් පිරිසකි. රෙඞ්ගේ‍්‍රව් සම්බන්ධයෙන් සැලකු කළ මෙසේ පැවසිය හැකි ය. ඔහු කළ දේවල් පිළිබඳ හොඳ වේවා නරක වේවා ඔහු වගකිව යුතු නමුත් එම ක‍්‍රියාකාරකම් මෙහෙයවන ලබන්නේ ඔහුට බාහිරව පැවති සන්තතින් මගිනි. කොරින් රෙඞ්ගේ‍්‍රව් තුළ මෙන් ම ඔහු අයත් වු පරම්පරාවේ ඉහළ ම මුර්තිය වන ආත්ම පරිත්‍යාගයට අපි ආචාරය කරමු.

 

කොරින්ගේ පියා පියානාව වාදනය කරන අතර කොරින් සමග ගායනයට එකතු වෙමින් මව, සොයුරියන් වු වැනෙසා හා ලයින් සන්ධ්‍යාවක් ගත කරයි.

 

(ලෝක සමාජවාදි වෙබ් අඩවිය ඇසුරෙනි)

මනෝ ප‍්‍රනාන්දු

සිංහල නවකතාවේ අවාසනාව

කෘතිය          :    සවාසනා
කර්තෘ           :    තිලක් ජයරත්න
මිළ               :    400/-
ප‍්‍රකාශනය     :    ෆාස්ට් පබ්ලිෂින් ලිමිටඞ්

අවුරුදු සියගනනකටත් වැඩි ඉතිහාසයක් ඇති සිංහල නවකතාව විශ්ව නවකතාව හා සංසන්දනය කළහොත් තවම ඇත්තේ ළදරු අවධියකය. 19 වෙනි සියවස ලෝක නවකතාවේ සියවස වීය. එම යුගයේ යුරෝපා නවකතාව විශිෂ්ට ලෙස වර්ධනය වීය. නමුත් නවකතාවේ විශාලතම උද්දීපනය ඇති වූයේ රුසියාව තුළය. එයට හේතු වූයේ එම රටේ තිබූ පරස්පර විරෝධී සමාජ ක‍්‍රමයයි. ඒ වන විට යුරෝපා සමාජය ප‍්‍රංශ විප්ලවයෙන් පසු වැඩවසම් ක‍්‍රමය අතුගාදමා තිබුණි. රුසියාවේ තිබුණේ අත්තනෝමතික සාර් තන්ත‍්‍රය යටතේ වැඩවසම් ක‍්‍රමයකි. තමන්ට අයිති වහලෙකුට මැරෙන තුරු පහර දීම රුසියාවේ කුලීනයන්ගේ  “අයිතිවාසිකමක්” විය. රුසියානු නවකතාවේ වර්ධනයට සීඝ‍්‍ර හේතු දක්වමින් රෝසා ලක්සම්බර්ග් මෙසේ කියයි. ‘බටහිරින් නැගී ආ ආලෝක කදම්බයන්ගේ සෙවන යට (නූපන් සාහිත්‍යය) වසන්ව තිබුණේය. එකී සංස්කෘතික බීජයන් අංකුර පිටකිරීමට නියම කාලය වනතෙක් පොලව යට සැගවී සිටියෝය. රුසියානු සාහිත්‍යය හදිසියේම පැනනැගී යුරෝපා සාහිත්‍යයේ අද්විතීය සාමාජිකයෙකුගේ තැන ගත්තේය. එහි නහරවල ඩාන්ටේ, රබෙලයිස්, ෂේක්ස්පියර්, බයිරන් ලෙසිං සහ ග’තගේ ලේ දිවීය. සිංහයකුගේ ජවයකින් පසුගිය සියවසක කලක් අහෝසිව තිබූ දේවල් ගොඩ නගාගෙන බටහිර සාහිත්‍ය පවුලේ පූර්ණ සාමාජිකයෙක් බවට රුසියානු සාහිත්‍යය පත් විය.

රුසියන් සාහිත්‍යයේ ඉතාම කැපී පෙනෙන ලක්‍ෂණය වූයේ පවතින සමාජ ක‍්‍රමයට විරුද්ධව සටන්කාමී රූපයකින් එය බිහිවීමය. දහනව වැනි සියවස පුරාම එහි කැපී පෙනෙන ලක්‍ෂණය වූයේ එයයි. එහි බුද්ධිමය අන්තර්ගතයේ පොහොසත්කම හා ගැඹුර සහ ඊටත් වඩා එහි නිර්මාණශීලිත්වය කලාත්මක රූපයන්ගේ සර්වසම්පූර්ණ බව හා ජීවාත්මක සමාජ බලවේගයක් වශයෙන් එය සර්ව සම්පූර්ණය. සාර් තන්ත‍්‍ර කාලයේ තරම් සාහිත්‍යය වෙන කිසිම කලක් හෝ කිසිම රටක ප‍්‍රබල සමාජ බලවේගයක් නොවීය. එය ශතවර්ෂයක් පුරාම තමාගේ මුරහලේ රැඳී සිටියේ මහජන බලවේග ඒ වෙනුවට ආදේශ වන තෙක් ය. වචනය මාංශ පේශීන්වලට හැරවුණේය. අර්ධ ආසියානු එ්කාධිපති දේශයක සාහිත්‍යය, නිර්මානාත්මක සාහිත්‍යය ලෝක සාහිත්‍යයේ තැනක් ගත්තේය. එය මර්දනයේ චීන ප‍්‍රාකාරය පුපුරුවා හැර සිසුවා වශයෙන් නොව ගුරුවරයා වශයෙන්ද බටහිරට පාලමක් තැනුවේය. :්රඑ ්ි ක්‍දටබසඑසදබ දෙ කසෙැග ්කැනි්බාැර ඪදරදබිනහ ඡු්ටැ 92* රෝසා ලක්සම්බර්ග් මෙහිදී පවසන්නේ රුසියන් සාහිත්‍යය 1917 බෝල්ෂේක් විප්ලවයට කෙතරම් දායක වූයේද යන්නයි.

රුසියන් සාහිත්‍යයේ මෙම භූමිකාව අනුව බැලූවහොත් සිංහල නවකතාව ප‍්‍රාදේශික හා ග‍්‍රාම්‍යවාදයේ තවමත් ගැලී සිටී. අතීතයේ සිටම සිංහල නවකතාව ආගම් ප‍්‍රචාරයට හෝ සදාචාර සංවර්ධනය මැදිකරගෙන සිංහල ජාතිකත්වය ගොඩනැගීමේ යෙදී සිටි නිසා රුසියන් සාහිත්‍යය මෙන් සමාජ තන්ත‍්‍රයට එය විරුද්ධව පිහිටියේ නැත. පේරාදෙණි නවකතාව බිහිවූයේ යුද්ධයට පසුව ආර්ථික ප‍්‍රසාරණයක් තිබූ කලකය. නමුත් සමාජ අර්බුද එම කාලයේ මතුපිටට පැමිණියේය. 1953 හර්තාලය 1958 සිංහල දෙමළ කොළාහල මෙන්ම කැකෑරෙන සමාජ අර්බුදය දේශපාලන පාවාදීම් නිසා ආයුධ සන්නද්ධ අරගලවලට තරුණයන් මෙහෙය වීය. මෙම සමාජ බලවේග විශ්ලේෂණය වෙනුවට පේරාදෙණි ගුරුකුලය පේරාදෙණි නිම්නය තුළ පැස්බර වතක් රැක්කේය.

මෙවැනි පසුබිමක් යටතේ ‘සවාසනා’ ග‍්‍රන්ථයේ කතුවරයා මෙන්ම කෘතිය පළවූ කාලයද වැදගත් වේ. සවාසනා කතාව තිලක් ජයරත්නට පුරුදු පස්දුන් කෝරළයෙන් පටන් ගනී. එහි ජීවත් වූ සීට්ටු හාමිනේ සහ ඇගේ සැමියා ඉඩම් හිමි ධනපතියෝය. එම ගමේම වෙසෙන නෝබට් ඉබා ගාතේ ජීවත් වන්නෙකැයි කීවත් ඔහු සමසමාජ කාරයෙක් විය හැකියයි කියවන්නා හඳුනා ගන්නේ ‘මන්ත‍්‍රී සහෝදරයා’ සමඟ තිබුණ සම්බන්ධකම්වලිනි. හේ වෘත්තීය සමිති හා තරුණ සමිති පිහිටුවීමටද මුල් වේ. 1953 හර්තාලයේදී පොලීසිය විසින් ඔහුගේ කකුල් කඩන ලදී. පසුව ඔහු පොළොන්නරුවේ ජනපද ගොවිතැනට ගොස් සශ‍්‍රීකව මුදලාලි කෙනෙක් වේ. සීට්ටු හාමිනේගේ පවුලද කම්පැනි පටන්ගෙන රබර් හා අනිකුත් ව්‍යාපාර ඔස්සේ පොහොසත් වේ. එම කාර්්‍යයට සිංහල මුස්ලිම් ව්‍යාපෘතිකයන්ද හවුල් වේ. කතාව අවසාන වන විට දේශපාලනයටද සම්බන්ධ වී ඇති මේ පවුල් හොඳින් ජීවත් වෙති. පරණ සමසමාජ කාරයා දක්‍ෂිණාංශක දේශපාලනයටද පිවිසේ.

වාමාංශික දේශපාලනය හැරදමා විකල්ප වශයෙන් තමන්ගේ ස්වාර්තය සාදාගත් චරිත තිබිය හැකි නමුත් සමාජ යථාර්තය නම් දේශපාලන වශයෙන් ඊට වඩා අර්බුදකාරී තත්වයක් ලංකාවේ ඇති වීමය. ‘සවාසනා’ නවකතාවෙන් එම යථාර්තය විභාග කිරීමට උත්සාහයක් නොකෙරේ. පොළොන්නරු ප‍්‍රදේශයේ බැංකු නය ගෙවා ගැනීමට බැරිව සිය දිවි නසාගත් ගොවියන් ගැනද වාර්තා වී ඇත. පවතින සමාජ ක‍්‍රමයේ ඇති අසමාන වර්ධනයේ නීති කතුවරයා දැක නැත්තේ ඔහු සිද්ධීන් අනුභූතිතව වටහාගෙන තිබෙන නිසාය.

නවකතාව පේලි අතරින් කියවීමේදී එය වාමාංශික දේශපාලනය පිළිබඳව නරුම අදහස් දරා ඇති බැව් පෙනේ. එසේම කතුවරයාට දේශපාලන යථාර්තය ගැන වැටහීමක්ද නැත.
”නිර්ධනයින්ට හිමි ලොවක්, ධනපති පංතිය පෙරළා දමා ලෝක කම්කරු ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව කතා කරන ඔහු පීඩිත ගම්වැසියන්ගේ සිත්තුළ මහත් ධෛර්යයක් සහ බලාපොරොත්තු දල්වයි.” (පිට 35* එකල වාමාංශික දේශපාලනයේ තිබුණේ ප‍්‍රාදේශීය දේශපාලනයක් මිස ”ලෝක කම්කරු ආණ්ඩුවක්” පිහිටුවීමට කිසිම බලාපොරොත්තුවක් නොවීය.

අපි කලින් කිවූ රුසියන් නවකතාවේ ජීවය වූ සමාජ යථාර්තය හෙළි කිරීමේ අභිප‍්‍රාය අනුව විමසා බැලූවිට ‘සවාසනා’ වේ තේමාව වෙනස් අභිමතාර්ථයක් තිබෙන බැව් කතුවරයාට නොවැටහී ඇත. එය පළ කර ඇත්තේ ත‍්‍රස්ත‍්‍රවාදයෙන් රට නිදහස් කරගෙන ඇති කාලයකය. එමනිසා ඇත්තේ හොඳින් බිස්නස් කිරීම බව නවකතාව නොකියා කියයි. එම නිසා නවකතාවේ තේමාව පැරණි ලෝක දෘෂ්ටියට අනුගත වී ඇත. තිලක් ජයරත්න මාධ්‍යය සදාචාරය ගැන ප‍්‍රචලිත අදහස් දරයි. නමුත් සෑම යුගයකදීම පාලකපංතියේ අදහස් එනම් – සමාජයේ භෞතික සම්පත් පාලනය කරන පංතිය – සෑම විටම එහි බුද්ධිමය බලවේගය වශයෙන් සිටී. මෙම කරුණට අවදානය යොමු නොකරන සිංහල නවකතා කරුවන් දිගටම තමන්ගේ ඇස් ලොඩි ඉදිරියේ තිබෙන දර්ශන පමණක් නවකතාකරණය කිරීම සිංහල නවකතාවේ අවාසනාව වේ.

සෝමචන්ද්‍ර විජේසූරිය

සංස්කෘතිය ගැන

පසු ගිය දාක අපි ෂැතුරා විදුලි බලාගාරය විවෘත කළෙමු. වගුරු බිමක් මත තැනූ එය අපගේ හොදම ඉදිකිරීම් වලින් එකකි. මොස්කව් සිට ෂැතුරාවට ඇත්තේ කිලෝමීටර් 100 ක පමණ දුරක් පමණි. එය දෙතැන සිට අතට අතදී ගත හැකි තරම් ස්වල්ප දුරකැයි කියන්නට පුළුවන. එහෙත් තත්වය අතින් මහත් වෙනසකි. මොස්කව් නුවර යනු කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ මධ්‍යස්ථානයයි. එතැන් සිට කිලෝමීටර් තිහහතලිහක් ගිය කල්හි හිමෙන් වැසුනු ෆර් ගස්වලින් ද, මිදී ගිය ගොහොරු බිම් වලින් ද, කුරිරු වග වලසුන්ගෙන් ද ගහන වූ පිටිසරබඳ වනාන්තරත් හිම යට කිරා වැටෙන, දැව මුවා පැල්පත් සහිත අන්ධකාර කුඩා ගම්මානත් හමුවේ. ඇතැම් විටක ඔබට රිය මැදිරි කවුළුවෙන් වෘකයන්ගේ අඩිපාරවල්ද දැකගත හැකිවේ. වර්ෂ කිහිපයකට පෙර ඉදිකිරීම් කටයුතු අරඹන කාලයේ අද ෂැතුරා බලාගාරය නැගී සිටින තැන ගෝන්නු තිප්පොළවල් සාදාගෙන සිටියා හු ය. අද දින වොල්ට්ස් 115,000 ක විදුල් බලය දරන කම්බි හිසින් ගත් දැකුම් කලු ලෝමුවා කණු පෙළක් විසින් මොස්කව් හා ෂැතුරා අතර දුර ප්‍රමාණය මකා හැර ඇත. ලබන වසන්ත සමයේදී වෘක දේනුන් මේ ලෝ මුවා කණු පාමුල පාටවුන් ගසනු ඇත. අපගේ සමස්ථ සංස්කෘත්යේ ම සැටි මෙසේය. එක් අතකින් තාක්ෂණයේත් සාමාන්යීකරණ චින්තනයේත් ඉහලම ජයග්‍රහන යන්ගෙන්ද අනෙක් අතින් ටයිගාවල ආදි කල්පිත තත්වයන්ගේ අත්‍යන්ත ප්‍රතිවිරෝධතාවයන්ගෙන්ද අප සංස්කෘතිය සැදුම් ලැබ ඇත. (උපුටා ගැනීම:- සංස්කෘතිය හා සමාජවාදය – ලියොන් ට්‍රොට්ස්කි – පරිවර්තනය – සුචරිත ගම්ලත්)

සත්‍ය වසන් කිරීම අරමුන කොටගත් කාටූන් දැක්මක්

දේශපාලන කාටුන් ශිල්පියෙකු වූ විනී හෙට්ටිගොඩ ගේ කාටුන් ප්‍රදර්ශනය “මහමෙර සැලුනද නොසැලෙන ස්ථාවරය” නමින් 2009 ජූලි 17-18 දිනයන්හි කොළඹ කලා භවනේදී පැවැත්විනි.

මේ කාටූන් ප්‍රදර්ශනය ජනවාර්ගික ගැටලුව පිලිබඳ දේශපාලන දැක්මක් විය. ජනතා විමුක්ති පෙරමුන හා බෞද්ධ භික්ශූන්ගෙන් සැදුම්ලත් දේශහිතෛශී ජාතික මධ්‍යස්ථානය ඊට අනුග්‍රහය දක්වා තිබුනි.

සැබවින්ම එය කාටුන් ශිල්පියෙකුගේ කලාත්මක ප්‍රයන්තයක් නොව, සිය දේශපාලන අරමුනු ගෙනයෑම සඳහා දැක්මක්ව සිදුකල ප්‍රදර්ශනයක් බව රහසක් නොවේ.

දෙමල ජනතාවගේ සැබෑ සතුරා කොටීන්ය (28) සාම සාකච්ඡා නම් කැරට් අලය පෙන්වා කොටි ආන්ඩුව රවටති (35) වාසු – බාහු කොටි පූස් පැටව් කරති (40) අලියා ගමන් කලේ කොටියාට අවශ්‍ය විධියටය (49) කොටි සටන් විරාම ගිවිසුම හාරසිය වතාවටද උල්ලංඝනය කරති (56) ප්‍රභාකරන් බටහිර අධිරාජ්‍යවාදීන්ගේ නියෝජිතයෙකි (85) ආදී කාටුන් තුලින් හෙට්ටිගොඩ ප්‍රයන්ත දරන්නේ, කොටි ව්‍යාපාරය බිහිවූ සැබෑ පසුබිම වසන් කිරීමටය. එමගින් මුලුමනින්ම ව්‍යාකූලත්වයට රසිකයා ඇද හෙලීමටය. කාටූන් 109 කින් යුත් ප්‍රදර්ශනයේ සෑම කාර්ටුනයකින්ම එකී ව්‍යාකූලත්වය වගා දිගා කිරීම අරමුනු කොට ගෙන තිබුනි.

එල්ටීටීඊ ව්‍යාපාරය බිහිවී වර්ධනය වූයේ හෙට්ටිගොඩගේ දැක්මෙන් මුලුමනින්ම වෙනස්ව බව දේශපාලන ඉතිහාසය සාක්ෂි දරයි. කාටුන් ප්‍රදර්ශනය පිලිබඳව අපගේ අවධානය යොමු වන්නේ ඒ සත්‍ය රසිකයා ඉදිරියේ තැබීමටය.

කොටි සංවිධානය දෙමල වර්ගවාදී ධනපති සංවිධානයකි. හෙට්ටිගොඩ එය පංති මූලයන්ගෙන් වෙන්කොට හුදු ත්‍රස්තවාදී ව්‍යාපාරයක් බවට පත් කරයි. එල්ටීටීඊයේ එල්ලය වූයේ සිංහල පාලක පංතිය සමඟ සාකච්ඡාවෙන් හෝ යුද්ධයෙන් වෙනම ධනපති රාජ්‍යයක් අටවා ගැනීමයි. එබැවින් එය සිංහල ධනපති පාලන තන්ත්‍රය තරම්ම ප්‍රතිගාමී, මහජනයාට එරෙහි ව්‍යාපාරයක් විය; අධිරාජ්‍ය ගැති විය. වර්තමානයේ දෙමල මහජනයා අත්විදින ව්‍යවසනය සිංහල ධනපතීන්ගේ හා එල්ටීටීඊ ය ඇතුලු දෙමල ධනපතියන්ගේ පිලිවෙත්වල දුශ්ට ප්‍රතිඵලයෝ වෙත්.

දකුනේ සිංහල පීඩිත තරුනයන් ලක්ශයකට අධික සංඛ්‍යාවක් මරා දමමින්, වැඩකරන මහජනයාගේ රැකියා ඇතුලු අයිතීන් මැඩලූ සිංහල ධනපති පාලකයෝ සිය ම්ලේජ්ජත්වය වසන්කරනු ලැබූවේ එල්ටීටී යේ ප්‍රතිගාමීත්වයට මුවාවී ගෙනය. හෙට්ටිගොඩද සිය කාටුන් මගින් ඒ වග කදිමට සිදුකොට ඇත. බැවින් සිංහල ධනපතියන්ගේ ප්‍රතිගාමීත්වය නොදරුවෙකුට සමාන කරන අතර එල්ටීටි ය බිල්ලෙකු ලෙස මවා පෑමට හෙට්ටිගොඩ මෙහෙය වේ.

දෙමල පීඩිත මහජනයා මත එබදු ප්‍රතිගාමී නායකත්වයක් බිහිවූයේ, සිංහල ධනපති පාලක පංතිය ගෙනගියා වූ වර්ගවාදී පාලන පිලිවෙත්වල ප්‍රතිඵලයෙනි. සිංහල වර්ගවාදීන් ‍මෙන්ම හෙට්ටිගොඩද මේ සත්‍ය මගහරී.

1956 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්කොට දෙමල භාෂාව නොතකා හරිමින් උග්‍ර කල වර්ගවාදය සභාග රජයේ 1970 සිංහල බෞද්ධ ව්‍යවස්ථාව මගින් තව තවත් තීව්‍ර කලේය. මේ සමඟම ක්‍රියාවට දැමූ ප්‍රමිතිකරන පිලිවෙත නිසා උගත් දෙමල තරුනයන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඇහිරිනි. 1983 නිරායුධ දෙමල මහජනයාට එරෙහිව මුදා හැරි දෙමල සංහාරයට ආන්ඩුවේ පිටුබලය එලිපිටම ලබාදීමෙන් සිංහල පාලනයේ වර්ගවාදී පිලිවෙතේ විශඝෝර ස්වරූපය ඉස්මත්තට ගෙනාවේය.

සුලු ජාතියේ අයිතීන් වෙනුවෙන් සමාජවාදී ඉදිරි දර්ශනය මත සටන්කල ලංකා සමසමාජ පක්ශය (එවකට දී සිංහල  – දෙමල කම්කරු පීඩිත ජනයාගේ ප්‍රධාන පක්ශය විය). එකී අරගලය අත් හරිමින් සිංහල වර්ගවාදී ධනපතියන්ට දේශපාලනිකව සිදුකල  යටත්වීම, මෙහිදී කැපී පෙනෙන දේශපාලනික සංසිද්ධියක් විය. මේ දේශපාලනික පාවාදීම උතුරේ දෙමල ධනපතියන්ට සිය වර්ගවාදී පිලිවෙතට තෝතැන්නක් තැනීය. දකුනේ ධනපතියන් ඒ තතු සිය වර්ගවාදී පාලනයට උදවි කරගත්තේය. එල්ටීටි ය මෙන්ම දකුනේ වර්ගවාදී ජනතා විමුක්ති පෙරමුන බිහිවීම එකම කාසියේ දෙපැත්ත ලෙස අප දකින්නේ ඒ නිසාය. සිංහල ‍- දෙමල වැඩකරන ජනයා අතර ඇතිකොට ඇති වාර්ගික භේදය එහි ප්‍රතිපලයක්ය යන්න දිනපතා තහවුරු නොවේද? එල්ටීටිය මෙන්ම වර්ගවාදී ජවිපෙ, සිහල උරුමය වැනි ප්‍රතිගාමී ව්‍යාපාර බිහිවීම ධනපති පාලනයේ ප්‍රතිඵලයකි. නමුත් එකී ව්‍යාපාර පීඩිත මහජනයා මත ආධිපත්‍ය ගැනීමට සිදුවූයේ ලංකා සමසමාජ පක්ශයේ දේශපාලන පාවාදීම නිසාය යන්න අපගේ වැටහීමයි. ඒ නිසා හෙට්ටිගොඩට මෙන් අපට එල්ටීටිය හෝ එවැනි සංවිධාන පංති දේශපාලනයෙන් වෙන් කොට දැක්විය නොහැක.

අතීත වාර්ගික මිත්‍යා ප්‍රබන්ධයන් මත වඩ වඩාත් පදනම්වී ගන්නා වර්ගවාදී ව්‍යාපාර මනුෂ්‍ය වර්ගයා පිළිබඳව කෙරෙන විද්‍යාත්මක වැටහීම් කෙරෙහි දක්වන්නේ දැඩි වෛරයකි. ඉතිහාසය පිළිබඳ ඇත්ත තතු විකෘති කොට  දැක්වීමේදී කාටූන් ශිල්පියෙකු වූ හෙට්ටිගොඩට කිසිදු හිරිකිතයක් නැත්තේ ඔහු මෙහෙයවී ගත්තේ වර්ගවාදයන් මත නිසාය.

80 දශකයේදී ‘ දිවයින’ පුවත්පතින් දේශපාලන කටුන් ශිල්පියෙකු ලෙස පාඨකයන් අතරට ආ හෙට්ටිගොඩගේ චිත්‍ර තුල සමාජ අසාධාරනයන් පිලිබඳ එලිදරව් කිරීමේ නැඹුරුතාවක් පැවතිනි. නමුත් එම දශකයේ වේගවත් වූ උතුරු නැගෙනහිර යුද්ධය, ඒ හා බැදුනු වර්ගවාදී දේශපාලන උත්සන්නය තුල සිය කලාත්මක කුසලතා දියකර දැමූ හෙට්ටිගොඩ එකී දේශපාලනයේ ප්‍රචාරකයෙක් බවට පත්විය. ප්‍රතිගාමීත්වයේ එකී ගමන අද නතර වී ඇත්තේ වර්ගවාදී ක්‍රියාධරයෙකු ලෙසය. ඔහුගේ ප්‍රතිගාමී පරිවර්තනයට මේ ප්‍රදර්ශනය සාක්ෂි දරන්නකි.

උදය පේදුරුගේ

ශෙල්ටන් පයාගල – ධනවාදය තුල කලාකරුවාගේ ශෝකාන්තය

සමාජය පුරා පවතින්නේ නිහැඩියාවකි. මිනිසුන් කිසිවක් ගැන කිසිවක් කතා නොකරති. වැඩ බිම්වල සියලු පීඩනයන්ට පිලිතුර නිහැඩියාවයි. නමුත් නිහැඩියාව තුල නොසිටි මිනිසුන්ද සිටියහ. එහෙත් ඔවුන්ට ඔවුන්ගේ ක්ශේත්‍ර තුල හඩ නැගීමේ ඉඩකඩ ඇහිරී තිබිණි. ඔහු නිපදවූයේ සිනාමාකෘති ද්විත්වයක් පමණි. පලමුවැන්න චන්දුරත්න මාපිටිගම සමඟ ඒකාබද්ධ අධ්‍යක්ශනයක් ලෙසිනි. එහෙත් එම සිනමා කෘති තුල ඔහු සිය සලකුන ලාංකීය සිනමාව මත තැබීය. ඔහු නව සිනමා නිර්මානයන් රැසක් ගැන වස්තු බීජයෝ පැලපදියම් කරගෙන සිටියා වුවත් ඒවා ප්‍රකාශයට පත්වූයේ නැත.

ශෙල්ටන් පයාගල අනම්‍ය චරිතයක් විය. ඔහු මා හැදින ගත්තේ ගුරුවරයෙකු වශයෙන් මහරගම නිස්කෝ වීඩියෝ ඒකකයේ පාඨමාලාවට සම්බන්ධ වූ තැන සිටය. තාක්ෂණික හරඹ ඉගැන්වූ තැනක සිනමාව හා රූපවාහිනිය ලේ ඇට මස් සහිතව කියා දුන්නේ ඔහුය. කට් එකක් කියන්නේ මොකක්ද? මොන්ටාජ් කියන්නේ මොකක්ද? සර්ජි අයිස්ටයින් කියන්නේ කවුද? චාලි චැප්ලින් කියන්නේ කවුදැයි අප පලමු වරට විධිමත්ව හැදෑරුවේ ඔහුගෙනි. අනතුරුව නුගේගොඩ බාලිකා පාසලක දී සතිඅන්තයේ පැවැත්වූ පංතියකදී තවදුරටත් සිනමාව ගැන ඔහුගෙන් උගත්තෙමු. අතේ සතේ නැතිව ජීවිතයේ රස්තියාදු ගසන කාලයේ තම අතේ තිබූ මුදලින් අපේ ප්ලේන්ටියේද සල්ලි ඔහු ගෙවූ බව මතකය. එයින් වසර ගනනාවකට පසු මහනුවර නගරයට තරුන තරුනියන් පිරිසක් සමග වැඩමුලුවක් සඳහා පැමින සිටියෙදී දුම්රිය පොලේදී ඔහු මට හමුවිය. මා හැදිනගත් ඔහු මා අතින් අල්ලා ගෙන තමා ඉදිරියට නිර්මානය කිරීමට යන නිර්මානයක් ගැන මා හට විස්තර කලේය. නිර්මානාත්මක බලාපොරොත්තු රැසක් ඔහු තුල විය.

පයාගල වාමාංශික ආසක්තතාවක් පෙන්නුම් කල කලාකරුවෙකි. ඔහුගේ ගොලු මුහුදේ කුනාටුව සිනමාකෘතිය තුල එකී ආසක්තතාවයේ සේයාවන් දක්නට ලැබේ.

සිනමා රීතීන් තුලදී, සම්මත රීතියට ඔහු ආසක්ත වූ අතර ඇබ්ස්ට්‍රැක්ට් රීතීන් සිනමාව තුල යොදා ගන්නේ නිරවුල් චින්තනයකින් තොර වූවන් බව ඔහුගේ අදහස විය.

රූපවාහිනී නාලිකාවක සේවය කරමින් සිටින මාගේ මිතුරෙක් ඔහුගේ මරනය සැල කලේය. අවසන් කටයුතු එදිනට නියමවී තිබිනි. ප්‍රශස්ත යමක් කිරීමට උත්සාහ කල සිනමාකරුවෙකු, අව්‍යාජ මිනිසෙකු සමුගෙන තිබිනි. ශෙල්ටන් පයාගලගේ නිවසට ගිය මාගේ මිතුරා දැක්වූ ලෙස ඔහු ඉතාමත් පීඩිත හා වගකීම් රැසක් කර ගැසුනු ජීවිතයක් ගෙවා තිබිනි. අවර නිර්මානකාරයෝ රෝද හතරේ වාහනවල හිමිකරුවන් වී නේක සඛවිහරන්ට හිමිකම් පාද්දී යමක් කිරීමට උත්සාහ කල පයාගලලාට හිමිවූයේ අහිමිවීමයි. නමුත් මේ ගැන පයාගලලා දුක් නොවන බව ඉදුරා දනිමි. ඔහු පරම්පරා කිහිපයක් ගුරුවරයෙක් ලෙස දැනුවත් කල අතරම ඔහු තම උත්සාහයන් හා සිහින පිලිබද ප්‍රමොදයන් තුල අවසන් නින්දේ පසුවනු ඇත.

ශෙල්ටන් පයාගල යනු අව්‍යාජ හා සුන්දර මිනිසෙකි. ශෙල්ටන් පයාගලට අපගේ සුභපැතුම්

ප්‍රභාත් ගලගමගේ

ප්‍රවීන සිනමා අධ්‍යක්ශ තිස්ස අබේසේකර අභාවප්‍රාප්ත වේ

ප්‍රවීන සිනමා අධ්‍යක්ශ තිස්ස අබේසේකර අප්‍රේල් 18 දා අභාවප්‍රාප්ත විය. සාහිත්‍යධරයෙක්, තිර රචකයෙක්. නිවේදකයෙක් හා ටෙලි නාට්‍ය අධ්‍යක්ශකවරයෙක් ලෙසටද ප්‍රකටව සිටි මේ කලාකරුවාගේ අභාවය පිලිබඳව අපි බලගතු ලෙස සංවේගයට පත් වන්නෙමු.

ක්ශේත්‍ර කිහිපයක සිය දායකත්වය දැක්වූ අබේසේකර රසික අවධානයට වඩාත්ම ලක්වූයේ තිර රචකයෙකු හා සිනමා කරුවෙකු ලෙසය.

“රේඛාව” සිනමා නිර්මානය පිලිබඳව සිදුකල විචාරයක් තුලින් එහි අධ්‍යක්ශ ලෙස්ටර් ජේමිස් පීරිස් සමඟ සමීප ඇසුරකට පත් අබේසේකරට සිය සිනමා ගමන ඇරඹීමට අවස්ථාව සැලසුනි. පීරිස් ගේ “සංදේශය” සිනමා නිර්මානයට සහයක තිර රචකයෙක් ලෙස ඇරඹි ඒ මග සිනමා අධ්‍යක්ශකවරයෙකු දක්වාම ගමන් කිරීමට අබේසේකරට හැකිවිය.

අබේසේකර කැපී පෙනෙන කුසලතා දැක්වූයේ පීරිස් ගේ “නිධානය” (1972) සිනමා නිර්මානයට ඔහු විසින් රචිත තිර රචනය මගිනි. නිසැකවම පීරිස් ගේ මග පෙන්වීම ලැබුවා වූ නමුත්, නිර්මානාත්මක සක්‍යතාව එකී තිර රචනය තුලින් මුදා හැරීමට අබේසේකර සමත්විය. පීරිස් ගේ ගොලු “හදවත” ඇතුලුව චිත්‍ර පටි ගනනාවකටම දෙබස් හා තිර රචකයෙක් ලෙස අබේසේකර පෑ නිර්මානාත්මක දායකත්වය අතිමහත්ය. ඔහුගේ සිනමා ගමනේදී තිර රචනා කල චිත්‍රපට හා ටෙලි නාට්‍ය ප්‍රමානය පනහකට ආසන්න වේ.

කරුමක්කාරයෝ (1989), මහගෙදර (1982) සහ විරාගය (1987) අබේසේකරගේ සිනමා නිර්මානයෝ වෙත්. ඔහුගේ සිනමාව පිලිබඳව සාකච්ඡා කිරීමට මෙය අවස්ථාවක් කර නොගනිමු. කෙසේ වුවද බෞද්ධ සදාචාරයෙන් වසා පැවති සිංහල ගැමි ජීවිතයේ අභ්‍යයන්තරික ඛේදවාචකය ඔහුගේ පලමු චිත්‍රපටය වූ “කරුමක්කාරයෝ” තුලින් පිළිබිඹු කෙරුනු බව සඳහන් කල යුතුවේ. එකී ගැමි සමාජයම පුපුරා ගෙන පැන නැගුනු ගැමි තරුන කැරුල්ල ඔහුගේ දෙවනි නිර්මානය වූ මහ ගෙදරට පාදක වය.

වැඩිහිටි ජීවිතයකට පිවිස සිටි අබේසේකර බෙහෙවින් ජනප්‍රියව පැවති මාර්ටින් වික්‍රමසිංහගේ නවකතාවක් වූ විරාගය සිනමාවට නැගුවේ 1987 වසරේදීය. මාර්ටින් වික්‍රමසිංහගේ සිංහල බෞද්ධ දෘශ්ටියෙන් නව කතාවේ යථාර්තවාදී ගුනය දුබලකලේ යම්සේද සිනමා නිර්මානයේදී ද එකී දුර්වලතාවයෙන් විරාගය මුදා ගැනීමට අබේසේකර සමත් වූයේ නැත. මේ අසමත්කම විදහා පෑවේ, රැඩිකල් සමාජ දැක්මකින්, එකී භාවිතයෙන් ඈත්වීමේ සලකුණයි.

යථාර්තවාදී සිනමාකරුවෙකු ලෙස සමාජ යථාර්තය ඥානනය කිරීමේ වෙහෙසකර අරගලයෙන් ඈත්වීමේ නැඹුරුව පසු කාලීන ඔහුගේ කලා භාවිතයේදි තියුනුව පෙනෙන්නට විය. කලා නිර්මානයන්හි නියැලීම අතහැර අබේසේකර චිත්‍රපට සංස්ථාවේ සභාපතිධූරයට පත්වීම එකී නැඹුරුවේ පැතිකඩකි. ධනපති රාජ්‍යයේ වඩ වඩාත් සමීපකයෙකු වීමටත්, රාජ්‍ය පරිපාලන නිලධාරී කා කොටැ ගැනීම් තුලටද, එමගින් අවමානයන්ටද ලක්ව, පැවති කලා කුසලතාවයන් යටපත් කිරීමට අබේසේකර හැරී ගැනීම, ඔහුගේ පුද්ගල දුර්වලතාවයට වඩා සමාජ පංති තුලවූ බලවත් පරිවර්තනය සමඟ බැදී පැවතිනි.

තිස්ස අබේසේකරගේ කලා ජීවිතය ඔහු පදනම්ව පැවති සමාජදෘශ්ටියේ පිලිබිඹුවකි. අබේසේකර සිංහල බෞද්ධ දෘශ්ටිය ඇතුලු ධනේශ්වරය මුදාහැරි ප්‍රතිගාමී දෘශ්ටිවාදයන්ට එරෙහිවූවෙක් ලෙස ප්‍රකටව සිටියේය. තරුන අවධියේ ඔහුගේ සමාජ දෘශ්ටිය ගොඩනැංවීමට සමාජවාදී ලෝක දෘශ්ටිය වූ මාක්ස්වාදය ප්‍රබලව මග පෑදූ බව පෙනේ. සමසමාජ පක්ශයේ අනුගාමිකයෙකු බවට පත්ව සිටීමෙන් ඒ බව තහවුරු වේ. තරුන වියේදී ඔහු ආසක්ත වූ සමාජ දෘශ්ටිය වූ සමාජවාදය ඒ වන විටත් අත්හරිමින් සිටි සමසමාජ පක්ශය වේගයෙන් ධනේශ්වරයේ කොටස්කරුවෙකු බවට පත් වූයේය. පෙර එකී සංවිධානය පිලිකෙව් කල හා එරෙහිව සටන්වැදි ප්‍රතිගාමී දෘශ්ටීන්ගේ තෝතැන්නක් බවට එයම පත්වී තිබිනි.ලෝක ආර්ථික, දේශපාලන හා සමාජීය පරිවර්තනය තුල සිදුවූ දේශපාලනික මධ්‍යම පන්තියේ ප්‍රතිගාමී හැරී ගැනීම ලංකාවේ පිලිබිඹු වූයේ ඒ ස්වරූපයෙනි. තිස්ස අබේසේකර බදු කලාකරුවන් ඇතුලු බුද්ධි ජීවීන්ගේ සමාජ දෘශ්ටිය පිරිහෙලීමේ පසුබිම ඒ මගින් නිර්මානය විය. පසුකාලීනව සිංහල බෞද්ධයෙකු ලෙස පෙනී සිටීමට ඔහු ගත් වෙහෙස, ඒ හා බැදුනු අවිද්‍යාවන්ට ඔහුගෙන් ලැබුණු සහය පෙන්වූයේ ප්‍රතිගාමීත්වයේ ගොදුරක් බවට අබේසේකර ලක්ව පැවති ඛේදවාචකයයි.

මේ අතරතුරේ අශෝක හදගම, ප්‍රසන්න විතානගේ හා පූජිත ජයසුන්දර ගේ නිර්මානවලට රාජ්‍යයෙන් එල්ල වූ තහංචි නියෝගයන්ට, සිංහල වර්ගවාදීන් එල්ලකල තිරස්චීන විවේචනයන්ට අබේසේකර විරෝධය පෑවේය. ඒ වනවිට රාජ්‍ය මර්ධන යන්ත්‍රයේ සමීපකයෙක් හා ප්‍රචාරකයෙක් බවට පත්ව සිටි අබේසේකරගේ එකී විරෝධයන් සටන්කාමී කලා කරුවන්ගේ මෙන්ම රසික ජනතාවගේ ආකර්ශනය දිනා ගැනීමට සමත්වූයේ නැත.

රාජ්‍ය මර්ධනයට එරෙහි ඔහුගේ විරෝධය මෙන්ම සිනමාව, සාහිත්‍ය ඇතුලු ඔහුගේ නිර්මානාත්මක කලා කුසලතාවන් පවතින සමාජ සංස්ථාපිතය තුල ගිලී සැගවුනි. අබේසේකර සියල්ල ඒ සඳහා යටත් කලේය.

ප්‍රගතිශීලී සමාජ දෘශ්ටියෙන් කලාකරුවා වියෝ වූ කල ප්‍රතිගාමීත්වයේ ගොදුරක් බවට පත්වීම වැලැක්විය නොහැකි බව අබේසේකර සිය කලා ජීවිතයෙන් පෙන්වා දුනි.

තතු කෙසේ වුවද, ඔහුගේ කලාත්මක ප්‍රතිදානයන් රසික හදවත් තුල දිගු කලක් නිදන්ගත වනු ඇත.

උදය පේදුරුගේ ‍- 2009 පෙබරවාරි

« Older entries