සිංහල නවකතාවේ අවාසනාව

කෘතිය          :    සවාසනා
කර්තෘ           :    තිලක් ජයරත්න
මිළ               :    400/-
ප‍්‍රකාශනය     :    ෆාස්ට් පබ්ලිෂින් ලිමිටඞ්

අවුරුදු සියගනනකටත් වැඩි ඉතිහාසයක් ඇති සිංහල නවකතාව විශ්ව නවකතාව හා සංසන්දනය කළහොත් තවම ඇත්තේ ළදරු අවධියකය. 19 වෙනි සියවස ලෝක නවකතාවේ සියවස වීය. එම යුගයේ යුරෝපා නවකතාව විශිෂ්ට ලෙස වර්ධනය වීය. නමුත් නවකතාවේ විශාලතම උද්දීපනය ඇති වූයේ රුසියාව තුළය. එයට හේතු වූයේ එම රටේ තිබූ පරස්පර විරෝධී සමාජ ක‍්‍රමයයි. ඒ වන විට යුරෝපා සමාජය ප‍්‍රංශ විප්ලවයෙන් පසු වැඩවසම් ක‍්‍රමය අතුගාදමා තිබුණි. රුසියාවේ තිබුණේ අත්තනෝමතික සාර් තන්ත‍්‍රය යටතේ වැඩවසම් ක‍්‍රමයකි. තමන්ට අයිති වහලෙකුට මැරෙන තුරු පහර දීම රුසියාවේ කුලීනයන්ගේ  “අයිතිවාසිකමක්” විය. රුසියානු නවකතාවේ වර්ධනයට සීඝ‍්‍ර හේතු දක්වමින් රෝසා ලක්සම්බර්ග් මෙසේ කියයි. ‘බටහිරින් නැගී ආ ආලෝක කදම්බයන්ගේ සෙවන යට (නූපන් සාහිත්‍යය) වසන්ව තිබුණේය. එකී සංස්කෘතික බීජයන් අංකුර පිටකිරීමට නියම කාලය වනතෙක් පොලව යට සැගවී සිටියෝය. රුසියානු සාහිත්‍යය හදිසියේම පැනනැගී යුරෝපා සාහිත්‍යයේ අද්විතීය සාමාජිකයෙකුගේ තැන ගත්තේය. එහි නහරවල ඩාන්ටේ, රබෙලයිස්, ෂේක්ස්පියර්, බයිරන් ලෙසිං සහ ග’තගේ ලේ දිවීය. සිංහයකුගේ ජවයකින් පසුගිය සියවසක කලක් අහෝසිව තිබූ දේවල් ගොඩ නගාගෙන බටහිර සාහිත්‍ය පවුලේ පූර්ණ සාමාජිකයෙක් බවට රුසියානු සාහිත්‍යය පත් විය.

රුසියන් සාහිත්‍යයේ ඉතාම කැපී පෙනෙන ලක්‍ෂණය වූයේ පවතින සමාජ ක‍්‍රමයට විරුද්ධව සටන්කාමී රූපයකින් එය බිහිවීමය. දහනව වැනි සියවස පුරාම එහි කැපී පෙනෙන ලක්‍ෂණය වූයේ එයයි. එහි බුද්ධිමය අන්තර්ගතයේ පොහොසත්කම හා ගැඹුර සහ ඊටත් වඩා එහි නිර්මාණශීලිත්වය කලාත්මක රූපයන්ගේ සර්වසම්පූර්ණ බව හා ජීවාත්මක සමාජ බලවේගයක් වශයෙන් එය සර්ව සම්පූර්ණය. සාර් තන්ත‍්‍ර කාලයේ තරම් සාහිත්‍යය වෙන කිසිම කලක් හෝ කිසිම රටක ප‍්‍රබල සමාජ බලවේගයක් නොවීය. එය ශතවර්ෂයක් පුරාම තමාගේ මුරහලේ රැඳී සිටියේ මහජන බලවේග ඒ වෙනුවට ආදේශ වන තෙක් ය. වචනය මාංශ පේශීන්වලට හැරවුණේය. අර්ධ ආසියානු එ්කාධිපති දේශයක සාහිත්‍යය, නිර්මානාත්මක සාහිත්‍යය ලෝක සාහිත්‍යයේ තැනක් ගත්තේය. එය මර්දනයේ චීන ප‍්‍රාකාරය පුපුරුවා හැර සිසුවා වශයෙන් නොව ගුරුවරයා වශයෙන්ද බටහිරට පාලමක් තැනුවේය. :්රඑ ්ි ක්‍දටබසඑසදබ දෙ කසෙැග ්කැනි්බාැර ඪදරදබිනහ ඡු්ටැ 92* රෝසා ලක්සම්බර්ග් මෙහිදී පවසන්නේ රුසියන් සාහිත්‍යය 1917 බෝල්ෂේක් විප්ලවයට කෙතරම් දායක වූයේද යන්නයි.

රුසියන් සාහිත්‍යයේ මෙම භූමිකාව අනුව බැලූවහොත් සිංහල නවකතාව ප‍්‍රාදේශික හා ග‍්‍රාම්‍යවාදයේ තවමත් ගැලී සිටී. අතීතයේ සිටම සිංහල නවකතාව ආගම් ප‍්‍රචාරයට හෝ සදාචාර සංවර්ධනය මැදිකරගෙන සිංහල ජාතිකත්වය ගොඩනැගීමේ යෙදී සිටි නිසා රුසියන් සාහිත්‍යය මෙන් සමාජ තන්ත‍්‍රයට එය විරුද්ධව පිහිටියේ නැත. පේරාදෙණි නවකතාව බිහිවූයේ යුද්ධයට පසුව ආර්ථික ප‍්‍රසාරණයක් තිබූ කලකය. නමුත් සමාජ අර්බුද එම කාලයේ මතුපිටට පැමිණියේය. 1953 හර්තාලය 1958 සිංහල දෙමළ කොළාහල මෙන්ම කැකෑරෙන සමාජ අර්බුදය දේශපාලන පාවාදීම් නිසා ආයුධ සන්නද්ධ අරගලවලට තරුණයන් මෙහෙය වීය. මෙම සමාජ බලවේග විශ්ලේෂණය වෙනුවට පේරාදෙණි ගුරුකුලය පේරාදෙණි නිම්නය තුළ පැස්බර වතක් රැක්කේය.

මෙවැනි පසුබිමක් යටතේ ‘සවාසනා’ ග‍්‍රන්ථයේ කතුවරයා මෙන්ම කෘතිය පළවූ කාලයද වැදගත් වේ. සවාසනා කතාව තිලක් ජයරත්නට පුරුදු පස්දුන් කෝරළයෙන් පටන් ගනී. එහි ජීවත් වූ සීට්ටු හාමිනේ සහ ඇගේ සැමියා ඉඩම් හිමි ධනපතියෝය. එම ගමේම වෙසෙන නෝබට් ඉබා ගාතේ ජීවත් වන්නෙකැයි කීවත් ඔහු සමසමාජ කාරයෙක් විය හැකියයි කියවන්නා හඳුනා ගන්නේ ‘මන්ත‍්‍රී සහෝදරයා’ සමඟ තිබුණ සම්බන්ධකම්වලිනි. හේ වෘත්තීය සමිති හා තරුණ සමිති පිහිටුවීමටද මුල් වේ. 1953 හර්තාලයේදී පොලීසිය විසින් ඔහුගේ කකුල් කඩන ලදී. පසුව ඔහු පොළොන්නරුවේ ජනපද ගොවිතැනට ගොස් සශ‍්‍රීකව මුදලාලි කෙනෙක් වේ. සීට්ටු හාමිනේගේ පවුලද කම්පැනි පටන්ගෙන රබර් හා අනිකුත් ව්‍යාපාර ඔස්සේ පොහොසත් වේ. එම කාර්්‍යයට සිංහල මුස්ලිම් ව්‍යාපෘතිකයන්ද හවුල් වේ. කතාව අවසාන වන විට දේශපාලනයටද සම්බන්ධ වී ඇති මේ පවුල් හොඳින් ජීවත් වෙති. පරණ සමසමාජ කාරයා දක්‍ෂිණාංශක දේශපාලනයටද පිවිසේ.

වාමාංශික දේශපාලනය හැරදමා විකල්ප වශයෙන් තමන්ගේ ස්වාර්තය සාදාගත් චරිත තිබිය හැකි නමුත් සමාජ යථාර්තය නම් දේශපාලන වශයෙන් ඊට වඩා අර්බුදකාරී තත්වයක් ලංකාවේ ඇති වීමය. ‘සවාසනා’ නවකතාවෙන් එම යථාර්තය විභාග කිරීමට උත්සාහයක් නොකෙරේ. පොළොන්නරු ප‍්‍රදේශයේ බැංකු නය ගෙවා ගැනීමට බැරිව සිය දිවි නසාගත් ගොවියන් ගැනද වාර්තා වී ඇත. පවතින සමාජ ක‍්‍රමයේ ඇති අසමාන වර්ධනයේ නීති කතුවරයා දැක නැත්තේ ඔහු සිද්ධීන් අනුභූතිතව වටහාගෙන තිබෙන නිසාය.

නවකතාව පේලි අතරින් කියවීමේදී එය වාමාංශික දේශපාලනය පිළිබඳව නරුම අදහස් දරා ඇති බැව් පෙනේ. එසේම කතුවරයාට දේශපාලන යථාර්තය ගැන වැටහීමක්ද නැත.
”නිර්ධනයින්ට හිමි ලොවක්, ධනපති පංතිය පෙරළා දමා ලෝක කම්කරු ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව කතා කරන ඔහු පීඩිත ගම්වැසියන්ගේ සිත්තුළ මහත් ධෛර්යයක් සහ බලාපොරොත්තු දල්වයි.” (පිට 35* එකල වාමාංශික දේශපාලනයේ තිබුණේ ප‍්‍රාදේශීය දේශපාලනයක් මිස ”ලෝක කම්කරු ආණ්ඩුවක්” පිහිටුවීමට කිසිම බලාපොරොත්තුවක් නොවීය.

අපි කලින් කිවූ රුසියන් නවකතාවේ ජීවය වූ සමාජ යථාර්තය හෙළි කිරීමේ අභිප‍්‍රාය අනුව විමසා බැලූවිට ‘සවාසනා’ වේ තේමාව වෙනස් අභිමතාර්ථයක් තිබෙන බැව් කතුවරයාට නොවැටහී ඇත. එය පළ කර ඇත්තේ ත‍්‍රස්ත‍්‍රවාදයෙන් රට නිදහස් කරගෙන ඇති කාලයකය. එමනිසා ඇත්තේ හොඳින් බිස්නස් කිරීම බව නවකතාව නොකියා කියයි. එම නිසා නවකතාවේ තේමාව පැරණි ලෝක දෘෂ්ටියට අනුගත වී ඇත. තිලක් ජයරත්න මාධ්‍යය සදාචාරය ගැන ප‍්‍රචලිත අදහස් දරයි. නමුත් සෑම යුගයකදීම පාලකපංතියේ අදහස් එනම් – සමාජයේ භෞතික සම්පත් පාලනය කරන පංතිය – සෑම විටම එහි බුද්ධිමය බලවේගය වශයෙන් සිටී. මෙම කරුණට අවදානය යොමු නොකරන සිංහල නවකතා කරුවන් දිගටම තමන්ගේ ඇස් ලොඩි ඉදිරියේ තිබෙන දර්ශන පමණක් නවකතාකරණය කිරීම සිංහල නවකතාවේ අවාසනාව වේ.

සෝමචන්ද්‍ර විජේසූරිය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.