සත්‍ය වසන් කිරීම අරමුන කොටගත් කාටූන් දැක්මක්

දේශපාලන කාටුන් ශිල්පියෙකු වූ විනී හෙට්ටිගොඩ ගේ කාටුන් ප්‍රදර්ශනය “මහමෙර සැලුනද නොසැලෙන ස්ථාවරය” නමින් 2009 ජූලි 17-18 දිනයන්හි කොළඹ කලා භවනේදී පැවැත්විනි.

මේ කාටූන් ප්‍රදර්ශනය ජනවාර්ගික ගැටලුව පිලිබඳ දේශපාලන දැක්මක් විය. ජනතා විමුක්ති පෙරමුන හා බෞද්ධ භික්ශූන්ගෙන් සැදුම්ලත් දේශහිතෛශී ජාතික මධ්‍යස්ථානය ඊට අනුග්‍රහය දක්වා තිබුනි.

සැබවින්ම එය කාටුන් ශිල්පියෙකුගේ කලාත්මක ප්‍රයන්තයක් නොව, සිය දේශපාලන අරමුනු ගෙනයෑම සඳහා දැක්මක්ව සිදුකල ප්‍රදර්ශනයක් බව රහසක් නොවේ.

දෙමල ජනතාවගේ සැබෑ සතුරා කොටීන්ය (28) සාම සාකච්ඡා නම් කැරට් අලය පෙන්වා කොටි ආන්ඩුව රවටති (35) වාසු – බාහු කොටි පූස් පැටව් කරති (40) අලියා ගමන් කලේ කොටියාට අවශ්‍ය විධියටය (49) කොටි සටන් විරාම ගිවිසුම හාරසිය වතාවටද උල්ලංඝනය කරති (56) ප්‍රභාකරන් බටහිර අධිරාජ්‍යවාදීන්ගේ නියෝජිතයෙකි (85) ආදී කාටුන් තුලින් හෙට්ටිගොඩ ප්‍රයන්ත දරන්නේ, කොටි ව්‍යාපාරය බිහිවූ සැබෑ පසුබිම වසන් කිරීමටය. එමගින් මුලුමනින්ම ව්‍යාකූලත්වයට රසිකයා ඇද හෙලීමටය. කාටූන් 109 කින් යුත් ප්‍රදර්ශනයේ සෑම කාර්ටුනයකින්ම එකී ව්‍යාකූලත්වය වගා දිගා කිරීම අරමුනු කොට ගෙන තිබුනි.

එල්ටීටීඊ ව්‍යාපාරය බිහිවී වර්ධනය වූයේ හෙට්ටිගොඩගේ දැක්මෙන් මුලුමනින්ම වෙනස්ව බව දේශපාලන ඉතිහාසය සාක්ෂි දරයි. කාටුන් ප්‍රදර්ශනය පිලිබඳව අපගේ අවධානය යොමු වන්නේ ඒ සත්‍ය රසිකයා ඉදිරියේ තැබීමටය.

කොටි සංවිධානය දෙමල වර්ගවාදී ධනපති සංවිධානයකි. හෙට්ටිගොඩ එය පංති මූලයන්ගෙන් වෙන්කොට හුදු ත්‍රස්තවාදී ව්‍යාපාරයක් බවට පත් කරයි. එල්ටීටීඊයේ එල්ලය වූයේ සිංහල පාලක පංතිය සමඟ සාකච්ඡාවෙන් හෝ යුද්ධයෙන් වෙනම ධනපති රාජ්‍යයක් අටවා ගැනීමයි. එබැවින් එය සිංහල ධනපති පාලන තන්ත්‍රය තරම්ම ප්‍රතිගාමී, මහජනයාට එරෙහි ව්‍යාපාරයක් විය; අධිරාජ්‍ය ගැති විය. වර්තමානයේ දෙමල මහජනයා අත්විදින ව්‍යවසනය සිංහල ධනපතීන්ගේ හා එල්ටීටීඊ ය ඇතුලු දෙමල ධනපතියන්ගේ පිලිවෙත්වල දුශ්ට ප්‍රතිඵලයෝ වෙත්.

දකුනේ සිංහල පීඩිත තරුනයන් ලක්ශයකට අධික සංඛ්‍යාවක් මරා දමමින්, වැඩකරන මහජනයාගේ රැකියා ඇතුලු අයිතීන් මැඩලූ සිංහල ධනපති පාලකයෝ සිය ම්ලේජ්ජත්වය වසන්කරනු ලැබූවේ එල්ටීටී යේ ප්‍රතිගාමීත්වයට මුවාවී ගෙනය. හෙට්ටිගොඩද සිය කාටුන් මගින් ඒ වග කදිමට සිදුකොට ඇත. බැවින් සිංහල ධනපතියන්ගේ ප්‍රතිගාමීත්වය නොදරුවෙකුට සමාන කරන අතර එල්ටීටි ය බිල්ලෙකු ලෙස මවා පෑමට හෙට්ටිගොඩ මෙහෙය වේ.

දෙමල පීඩිත මහජනයා මත එබදු ප්‍රතිගාමී නායකත්වයක් බිහිවූයේ, සිංහල ධනපති පාලක පංතිය ගෙනගියා වූ වර්ගවාදී පාලන පිලිවෙත්වල ප්‍රතිඵලයෙනි. සිංහල වර්ගවාදීන් ‍මෙන්ම හෙට්ටිගොඩද මේ සත්‍ය මගහරී.

1956 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්කොට දෙමල භාෂාව නොතකා හරිමින් උග්‍ර කල වර්ගවාදය සභාග රජයේ 1970 සිංහල බෞද්ධ ව්‍යවස්ථාව මගින් තව තවත් තීව්‍ර කලේය. මේ සමඟම ක්‍රියාවට දැමූ ප්‍රමිතිකරන පිලිවෙත නිසා උගත් දෙමල තරුනයන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඇහිරිනි. 1983 නිරායුධ දෙමල මහජනයාට එරෙහිව මුදා හැරි දෙමල සංහාරයට ආන්ඩුවේ පිටුබලය එලිපිටම ලබාදීමෙන් සිංහල පාලනයේ වර්ගවාදී පිලිවෙතේ විශඝෝර ස්වරූපය ඉස්මත්තට ගෙනාවේය.

සුලු ජාතියේ අයිතීන් වෙනුවෙන් සමාජවාදී ඉදිරි දර්ශනය මත සටන්කල ලංකා සමසමාජ පක්ශය (එවකට දී සිංහල  - දෙමල කම්කරු පීඩිත ජනයාගේ ප්‍රධාන පක්ශය විය). එකී අරගලය අත් හරිමින් සිංහල වර්ගවාදී ධනපතියන්ට දේශපාලනිකව සිදුකල  යටත්වීම, මෙහිදී කැපී පෙනෙන දේශපාලනික සංසිද්ධියක් විය. මේ දේශපාලනික පාවාදීම උතුරේ දෙමල ධනපතියන්ට සිය වර්ගවාදී පිලිවෙතට තෝතැන්නක් තැනීය. දකුනේ ධනපතියන් ඒ තතු සිය වර්ගවාදී පාලනයට උදවි කරගත්තේය. එල්ටීටි ය මෙන්ම දකුනේ වර්ගවාදී ජනතා විමුක්ති පෙරමුන බිහිවීම එකම කාසියේ දෙපැත්ත ලෙස අප දකින්නේ ඒ නිසාය. සිංහල ‍- දෙමල වැඩකරන ජනයා අතර ඇතිකොට ඇති වාර්ගික භේදය එහි ප්‍රතිපලයක්ය යන්න දිනපතා තහවුරු නොවේද? එල්ටීටිය මෙන්ම වර්ගවාදී ජවිපෙ, සිහල උරුමය වැනි ප්‍රතිගාමී ව්‍යාපාර බිහිවීම ධනපති පාලනයේ ප්‍රතිඵලයකි. නමුත් එකී ව්‍යාපාර පීඩිත මහජනයා මත ආධිපත්‍ය ගැනීමට සිදුවූයේ ලංකා සමසමාජ පක්ශයේ දේශපාලන පාවාදීම නිසාය යන්න අපගේ වැටහීමයි. ඒ නිසා හෙට්ටිගොඩට මෙන් අපට එල්ටීටිය හෝ එවැනි සංවිධාන පංති දේශපාලනයෙන් වෙන් කොට දැක්විය නොහැක.

අතීත වාර්ගික මිත්‍යා ප්‍රබන්ධයන් මත වඩ වඩාත් පදනම්වී ගන්නා වර්ගවාදී ව්‍යාපාර මනුෂ්‍ය වර්ගයා පිළිබඳව කෙරෙන විද්‍යාත්මක වැටහීම් කෙරෙහි දක්වන්නේ දැඩි වෛරයකි. ඉතිහාසය පිළිබඳ ඇත්ත තතු විකෘති කොට  දැක්වීමේදී කාටූන් ශිල්පියෙකු වූ හෙට්ටිගොඩට කිසිදු හිරිකිතයක් නැත්තේ ඔහු මෙහෙයවී ගත්තේ වර්ගවාදයන් මත නිසාය.

80 දශකයේදී ‘ දිවයින’ පුවත්පතින් දේශපාලන කටුන් ශිල්පියෙකු ලෙස පාඨකයන් අතරට ආ හෙට්ටිගොඩගේ චිත්‍ර තුල සමාජ අසාධාරනයන් පිලිබඳ එලිදරව් කිරීමේ නැඹුරුතාවක් පැවතිනි. නමුත් එම දශකයේ වේගවත් වූ උතුරු නැගෙනහිර යුද්ධය, ඒ හා බැදුනු වර්ගවාදී දේශපාලන උත්සන්නය තුල සිය කලාත්මක කුසලතා දියකර දැමූ හෙට්ටිගොඩ එකී දේශපාලනයේ ප්‍රචාරකයෙක් බවට පත්විය. ප්‍රතිගාමීත්වයේ එකී ගමන අද නතර වී ඇත්තේ වර්ගවාදී ක්‍රියාධරයෙකු ලෙසය. ඔහුගේ ප්‍රතිගාමී පරිවර්තනයට මේ ප්‍රදර්ශනය සාක්ෂි දරන්නකි.

උදය පේදුරුගේ

එක් ප්‍රතිචාරයක්

  1. Malaka said,

    2010 මාර්තු 6 at 6:19 ප.ව.

    ස්තුතියි බෙදාගත්තාට, මෙවැනි අභියෝගාත්මක මතෘකා තවත් ඉදිරියට කරගෙන යන්න….


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.