ශෙල්ටන් පයාගල – ධනවාදය තුල කලාකරුවාගේ ශෝකාන්තය

සමාජය පුරා පවතින්නේ නිහැඩියාවකි. මිනිසුන් කිසිවක් ගැන කිසිවක් කතා නොකරති. වැඩ බිම්වල සියලු පීඩනයන්ට පිලිතුර නිහැඩියාවයි. නමුත් නිහැඩියාව තුල නොසිටි මිනිසුන්ද සිටියහ. එහෙත් ඔවුන්ට ඔවුන්ගේ ක්ශේත්‍ර තුල හඩ නැගීමේ ඉඩකඩ ඇහිරී තිබිණි. ඔහු නිපදවූයේ සිනාමාකෘති ද්විත්වයක් පමණි. පලමුවැන්න චන්දුරත්න මාපිටිගම සමඟ ඒකාබද්ධ අධ්‍යක්ශනයක් ලෙසිනි. එහෙත් එම සිනමා කෘති තුල ඔහු සිය සලකුන ලාංකීය සිනමාව මත තැබීය. ඔහු නව සිනමා නිර්මානයන් රැසක් ගැන වස්තු බීජයෝ පැලපදියම් කරගෙන සිටියා වුවත් ඒවා ප්‍රකාශයට පත්වූයේ නැත.

ශෙල්ටන් පයාගල අනම්‍ය චරිතයක් විය. ඔහු මා හැදින ගත්තේ ගුරුවරයෙකු වශයෙන් මහරගම නිස්කෝ වීඩියෝ ඒකකයේ පාඨමාලාවට සම්බන්ධ වූ තැන සිටය. තාක්ෂණික හරඹ ඉගැන්වූ තැනක සිනමාව හා රූපවාහිනිය ලේ ඇට මස් සහිතව කියා දුන්නේ ඔහුය. කට් එකක් කියන්නේ මොකක්ද? මොන්ටාජ් කියන්නේ මොකක්ද? සර්ජි අයිස්ටයින් කියන්නේ කවුද? චාලි චැප්ලින් කියන්නේ කවුදැයි අප පලමු වරට විධිමත්ව හැදෑරුවේ ඔහුගෙනි. අනතුරුව නුගේගොඩ බාලිකා පාසලක දී සතිඅන්තයේ පැවැත්වූ පංතියකදී තවදුරටත් සිනමාව ගැන ඔහුගෙන් උගත්තෙමු. අතේ සතේ නැතිව ජීවිතයේ රස්තියාදු ගසන කාලයේ තම අතේ තිබූ මුදලින් අපේ ප්ලේන්ටියේද සල්ලි ඔහු ගෙවූ බව මතකය. එයින් වසර ගනනාවකට පසු මහනුවර නගරයට තරුන තරුනියන් පිරිසක් සමග වැඩමුලුවක් සඳහා පැමින සිටියෙදී දුම්රිය පොලේදී ඔහු මට හමුවිය. මා හැදිනගත් ඔහු මා අතින් අල්ලා ගෙන තමා ඉදිරියට නිර්මානය කිරීමට යන නිර්මානයක් ගැන මා හට විස්තර කලේය. නිර්මානාත්මක බලාපොරොත්තු රැසක් ඔහු තුල විය.

පයාගල වාමාංශික ආසක්තතාවක් පෙන්නුම් කල කලාකරුවෙකි. ඔහුගේ ගොලු මුහුදේ කුනාටුව සිනමාකෘතිය තුල එකී ආසක්තතාවයේ සේයාවන් දක්නට ලැබේ.

සිනමා රීතීන් තුලදී, සම්මත රීතියට ඔහු ආසක්ත වූ අතර ඇබ්ස්ට්‍රැක්ට් රීතීන් සිනමාව තුල යොදා ගන්නේ නිරවුල් චින්තනයකින් තොර වූවන් බව ඔහුගේ අදහස විය.

රූපවාහිනී නාලිකාවක සේවය කරමින් සිටින මාගේ මිතුරෙක් ඔහුගේ මරනය සැල කලේය. අවසන් කටයුතු එදිනට නියමවී තිබිනි. ප්‍රශස්ත යමක් කිරීමට උත්සාහ කල සිනමාකරුවෙකු, අව්‍යාජ මිනිසෙකු සමුගෙන තිබිනි. ශෙල්ටන් පයාගලගේ නිවසට ගිය මාගේ මිතුරා දැක්වූ ලෙස ඔහු ඉතාමත් පීඩිත හා වගකීම් රැසක් කර ගැසුනු ජීවිතයක් ගෙවා තිබිනි. අවර නිර්මානකාරයෝ රෝද හතරේ වාහනවල හිමිකරුවන් වී නේක සඛවිහරන්ට හිමිකම් පාද්දී යමක් කිරීමට උත්සාහ කල පයාගලලාට හිමිවූයේ අහිමිවීමයි. නමුත් මේ ගැන පයාගලලා දුක් නොවන බව ඉදුරා දනිමි. ඔහු පරම්පරා කිහිපයක් ගුරුවරයෙක් ලෙස දැනුවත් කල අතරම ඔහු තම උත්සාහයන් හා සිහින පිලිබද ප්‍රමොදයන් තුල අවසන් නින්දේ පසුවනු ඇත.

ශෙල්ටන් පයාගල යනු අව්‍යාජ හා සුන්දර මිනිසෙකි. ශෙල්ටන් පයාගලට අපගේ සුභපැතුම්

ප්‍රභාත් ගලගමගේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.